April 26, 2024

මිනිසාගේ හොඳම මිතුරාගේ කුසගිනි නිවන ලාංකිකයා (PHOTOS)

ඔහු නමින් නිහාල් ද සිල්වා. ඔහු ඇත්තටම හරි අපූරු මිනිසෙක්. සතුන්ට ආදරය කරන කරුණාවන්ත පුද්ගලයෙක්. නිහාල් දිනකට සුනඛයන් 150කට පමණ ආහාර සපයනවා. ඔහු සුනඛයන්ට ආහාර ලබා දීම ආරම්භ කරලා තියෙන්නේ මීට වසර 18කට විතර කලින්. 

උදෑසන හතට ආහාර පිසීම ආරම්භ කරන නිහාල් දවසේ පැය 12කට වැඩි කාලයක් සුනඛයන් වෙනුවෙන් කැප කරනවා. ඔහු පවසන පරිදි අවුරුදු 18 පුරාවටම සුනඛයන් වෙත ආහාර දීමට නොහැකිව ඇත්තේ හය වරක් පමණයි. ආහාර පිසීම වගේම ඒවා සුනඛයන් වෙත ලබා දීම යන කාරනා දෙකම සිදු වන්නේ ඔහු අතින්මයි. පැලවත්ත, කොස්වත්ත, මාලබේ, බත්තරමුල්ල අවට වෙසෙන සුනඛයන් නිහාල් දෙන ආහාරයෙන් තමයි යැපෙන්නේ.

සිය ජීවිතය සුනඛයන් වෙනුවෙන් කැප කර ඇති නිහාල් කොළඹින් බැහැරව ගොස් නැති තරම්ය. කුසගින්නේ පසුවන මිනිසුන් නම් මේ මහ පොළොවේ කෙතරම් සිටියදී සතුන්ට මෙලෙස ආහාර දීම ගැන ඔබත් මොහොතකට හෝ සිතන්නට ඇති. 

මිනිසාට ආදරය කරන සුනඛ මිතුරන් අපරාධකරුවන් ඇල්ලීමට පවා සහය වන බව නිහාල් කියයි. නිහාල් අවසාන වශයෙන් අවධාරණය කරන්නේ මිනිසාගේ හොඳම මිතුරාගේ කුසගින්න නිවීම සඳහා තමා හැකිතාක් කැපවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 18:39