April 26, 2024

නූතන පටාචාරාවකගේ කතාවක් (PHOTOS)

ආහාර සොයා කොස් ගස් නැග පවුලක් ජීවත් කළ දෙදරු පියෙකුට සහ මවක පත්ව ඇති ඉතා ඛේදජනක ඉරණම පිළිබඳ දුක හිතෙන කතා පුවතක් ගලේවෙල තලකිරියාගම මීවලපතහ කලුආරචියාගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ජි.ජි.කිරි මැනිකා මහත්මිය වයස අවුරුදු 55 ක දෙදරු මවකි. ඇයගේ අතිනත ගත් ආදරණීය ස්වාමිපුරුෂයා ඩබ්ලිව්.ජි.සුනිල් වයස අවුරුදු හැත්තෑවකට ආසන්නය. පුතුන් දෙදෙනෙකු සහ දියණියක මෙලොවට ජනිත කළ මෙම යුවළ සතුටෙන් ජීවත් වූයේ කෙටි කාලයකි. පියාගේ රැකියාව බවට පත් වූයේ කුලීවැඩ සහ ප්‍රදේශයේ කොස් ගස් වලට නැග ඒවායේ පලදාව කඩා ආහාර පිසින හෝටල් වලට කොස් මදුලු අලෙවි කිරීමය.

පිරිමි දරුවන් දෙදෙනා හිරිමල් වියට පා තබන්නට ඔන්න මෙන්න තිබියදී අනපේක්ෂිත ලෙස අවස්ථා දෙකක දී රිය අනතුරු දෙකක් නිසා ජීවිතය හැරදා ගිය බව කිරි මැනිකා මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.

දුක වේදනාව දරා ගැනීමට නොහැකිව ඇය තවමත් සිහිමද ගතියෙන් පසුවන්නීය.

දරු දෙදෙනා මිය ගිය පසු ඇයගේ දියණිය වෙනත් ප්‍රදේශයක විවාහ වී සිටින අතර ඇයද ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිති. සැමියා සමග කුඩා නිවසක දිවි ගෙවමින් සිටියදී නූතන පටාචාරාවක් මෙන් කිරි මැණිකාට අසන්නට ලැබී ඇත්තේ තවත් අඳුරු පුවතකි. එනම් තමන් රක්ෂා කිරීමට කොස් ගසකට නෑ කොස් ගෙඩි කඩමින් සිටි තම ආදරණීය සැමියා කොස් ගසකින් ඇද වැටී රෝහල්ගත කළ පුවතය.

වහා මෙම කිරි මැනිකා පටාචාරාවක් මෙන් රෝහලට දිවයන්නට වූවාය. දින සති මාස ගතවෙද්දී ඇයට රෝහලෙන් ලැබුණු ප්‍රතිචාරය බවට පත් වූයේ තම සැමියා සදහටම ආබාධිත පුද්ගලයකු බවය. වේලක් හැර වේලක් ආහාර ගෙන සිටි මෙම පවුල තවදුරටත් අන්ත අසරණ භාවයට පත්වන්නට විය.

එදා සිට අද දක්වා මෙම පියා ඇගේ ඇඳිවත වත් රඳවා නොගෙන කාමරයක බිම නිදි කරවා කකුල් දිග හැරීමට නොහැකි ව එකතැන් වී දැඩි වේදනාවෙන් යුතුව සිටින අයුරු දැක ගැනීමට හැකිවිය .

කොහේ හෝ සිදු කළ විපාකයක් තමන්ට පල දෙන්නට ඇතැයි කිරි මැනිකා අප සමග හැඬූ කඳුළින් පැවසුවේ මේ දුක්බර කතාව අප සමග හෙළි කරමින්ය ,

කිසිදු පහසුකමක් නොමැතිව කෙසේ හෝ එක වේලක් ආහාරයක් පිසගෙන තම සැමියා ජීවත් කරවන්නට මෙම මව උත්සාහයක නිරත වෙමින් සිටින්නීය. අඩුම තරමේ රෝදපුටුවක්, සරමක් ,ඇඳක් , සනීපාරක්ෂක පහසුකම්, බෙහෙත් ටිකක්, ආහාර ආදී මුලික අවශ්‍යතා කිසිවක් නොමැතිව ඉරි ගිය පැදුරු කැබැල්ලක වැතිරී සිටින මෙම පියා නිතර නිතර ආහාර ඉල්ලා හඬා වැටෙන අයුරු එහි යන ඕනෑම අයකුගේ නෙතට කඳුළක් ගෙන එනු නිසැකය.

මෙම අසරණව සිටින පියාට මවට ඔබේ උපකාර අවශ්‍යම මොහොත යැයි එහි ගිය අපට පසක් විය.මෙම මව ද දැඩි රෝගාතුරව සිටියදිත් පියාගේ පිරිසිදු කිරීම් ආහාර සෙවීම රැකබලා ගැනීම ආදී සියල්ල මෙම මව අතින් සිදු කෙරෙන අතර ඇයට ද ප්‍රතිකාරයක් ගැනීමට හෝ ගැනීමට මිල මුදලක් නොමැත එළඹෙන්නේ වසන්ත සමයයි වසන්ත සමය සිහි කොට හෝ මෙම අසරණ පවුලට ඔබේ සහයෝගය ලබා දිය හැකි නම් එය මහත් පුණ්‍යකර්මයකි.

ඔවුන්ගේ ලිපිනය ජි.ජි.කිරි මැනිකා,මීවල පතහා,කලුආරචියාගම,තලකිරියාගම,ගලේවෙල. දුරකථන අංකය 075 2488436 ගිණුම් අංකය මහජන බැංකුව ගලේවල,  ජි.ජි.කිරි මැනිකා.115 2 001 9 000 5681.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 March 2021 21:52