April 27, 2024

"ඒක මට හරියට හීනයක් වගේ" - තාරකා වාසලමුදලිආරච්චි

ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නවකතාකාරිනියක් විදියට ජනප්‍රිය තාරකා වාසලමුදලිආරච්චි ඒෂියන් මිරර් එක්ක එකතු වුණේ වෘත්තිමය ජීවිතය වගේම පෞද්ගලික ජිවිතේ තොරතුරු ඇගේ රසිකයන් සමඟ බෙදා ගන්නයි.

අම්මා කෙනෙක් විදියට හිතට ලොකු ආඩම්බරයක් දැනෙන සිදුවීමක් වුනා පසුගිය දවස්වල..ඒ ගැන අපි කතා කරමු.

ඔව් මගේ ලොකු පුතා ගිම්හාන් සූරියබණ්ඩාර පසුගිය දවසක නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දුන්නා. ඒ ගැන හරි සතුටුයි. ඒක මට හරියට හීනයක් වගේ. පොඩි කාලේ ඉඳලා පුතාගේ බලාපොරොත්තුව තිබ්බෙත් ඒකමයි. ඒ වෙනුවෙන් අපෙන් කිසි බාධාවක්, බලපෑමක් තිබ්බේ නැහැ.

දරුවා ගැන අහපු නිසා තාරකා මට ඔයාගෙන් චන්දන අයියා ගැන අහන්න හිතුණා. ඔහු ඔයාට ලොකු නිදහසක් දීලා තියෙනවා නේද?

නිදහස කියන්නේ මෙහෙමයි. අපි ජිවත් වෙන්නේ අනුන්ට කරදරයක් නොවෙන විදිහට. අපි දෙන්නා කවදාවත් අපිට කරදරයක් වුණ අය නෙවෙයි. එළියට ගියහම කෝල් කර කර "කොහෙද ඉන්නේ?" කියලා අහන අයත් නෙවෙයි. එහෙම කරන එක නරකයි කියනවා නෙවෙයි. ආදරය වැඩියෙන් තිබුනමත් සමහරු අහනවා "ඔයා කොහෙද ඉන්නේ?" කියලා. ඒක වැරදි නැහැ. නමුත් අපි එකිනෙකාගෙන් එහම අහන්නේ නැහැ. ඒ කියන්නේ අපි අතර ආදරය ආරක්ෂාව නැහැ කියන එක නෙවෙයි. කොහෙ හරි යනවා නම් මම එයාට වගේම එයා මට කියනවා යන තැන. එතැනදී විශ්වාසයයි තියෙන්නේ ඕනේ.

දැන් රංගනයෙන් ඈත් වෙලාම ගිහින් නේද? 

කාලෙකින් රඟපෑවේ නෑ තමයි. නමුත් එහෙම ඈත් වෙලාම නෑ.

ඒ කියන්නේ ගැලපෙන චරිතයක් ලැබුනොත් ආයෙමත් රඟපානවා කියන එකද?

ම්..ඔව්  

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ඔයා නවකතාකාරිනියක් විදිහටත් සමාජගත වුන කෙනෙක්. පාඨකයන් කැමති ඇති දැනගන්න තාරකාගේ අලුත් නවකතාව කවදද එළි දකින්නේ කියල..

මේ අවුරුද්දේ නම් මගේ අලුත් පොතක් එන්නේ නැහැ. ලබන අවුරුද්දේ මුල් අලුත් නවකතාව එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. තව අලුත් වැඩක් එක්කම. 

අලුත් වැඩක්?

ඔව්..ඒක කියන්නම්කො ඉක්මණට.

තාරකා විවාහ වෙලා ඉන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර එක්ක කියලා නොදන්නා කෙනෙක් නැති තරම්.. ඔහු හරි ආකර්ශනීය කෙනෙක්.. මට හිතෙන්නේ ඔහුට වැඩිය ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්. ඒක ගැන පුංචිම ඉරිසියාවක් දැනෙන්නේ නැද්ද?

තියෙනවා.. තියෙනවා.. ඒ දවස්වල එයාට එන ලියුම් බලන්නේ මම.. ඒක මට වාසියි. කවුරු හරි එයා ගැන උනන්දු වෙනවා නම් ඒක මට අහුවෙනවා..එතකොට ඉතින් ඉරිසියාවක් දැනිලා තියෙනවා.. හැබැයි ඉතින් අපි අතර විශ්වාසය තියෙනවා අපි ගැන..

අවංකවම කියන්න විවාහ වුන අලුතවත් අවිශ්වාසයක් ඇති වෙලා නැද්ද?

නැත්තේ නැහැ. සමහර වෙලාවට අඩලත් තියෙනවා. නමුත් ඒ කිසිම තේරුමක් ඇතිව නෙවෙයි. ගැහැනියකට කොහොමත් පොඩි ජෙලස් එකක් එනවනේ තමන් ආදරය කරන කෙනා තමන්ගේ විතරමයි කියලා හිතෙන සිතුවිල්ලක් එක්ක එහෙම සිතුවිලි එනවා.. මටත් එහෙමයි.. හැබැයි ඒ කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි කියලා මට තේරුනා.

ඔයා වඩාත් කැමති බිරිඳ කියන භූමිකාවටද? අම්මා කියන භූමිකාවටද?

බිරිඳ කියන්නෙත් තව විදියකින් අම්මා කියන භූමිකාවට තමයි. මගේ පුතාලා තුන්දෙනාටම වගේම මම චන්දන අයියටත් අම්මා කෙනෙක් සමහර වෙලාවට..ඉතින් මං අම්මා කියන භූමිකාවට ගොඩක් කැමතියි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:21