May 18, 2024

පිරිමියෙකුව ඉපිද ගැහැණු වෙස් ගෙන දිවිගෙවන සංක්‍රාන්ති ලිංගික 'සකුණි' මාධ්‍යය අමතයි (VIDEO)

පිරිමියෙකු සේ උපත ලබා පසුව ගැහැණියෙකු සේ ජීවත් වෙන සකුණි මායාදුන්න නම් සංක්‍රාන්ති ලිංගික කාන්තාව BBC සිංහල සේවය සමග තම ප්‍රජාවට ශ්‍රී ලාංකීය සමාජයෙන් සිදුවෙන හිරිහැර පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

තමා ළමා කාලයේ සිටම ගැහැණු ළමයෙකු සේ හැසිරුණු බවත් පෙර දී පිරිමි නමක් තිබූව ද පසුව තම නම සකුණි මායාදුන්න ලෙස වෙනස් කරගත් බවත් ඇය පවසනවා.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මෙරට සමාජයෙන් කොන් කිරීමට ලක් කරන බවත් එය දරාගත නොහැකි වූ නිසා කිහිප දෙනෙකුම සියදිවි නසාගැනීමට පවා කටයුතු කළ බවත් ඇය අනාවරණය කළා.

විශේෂයෙන් පොදු වැසිකිළි භාවිතයේ දී තම ප්‍රජාව දැඩි අපහසුතාවකට ලක්වන බව යි ඇය පවසන්නේ.

එමෙන්ම රැකියා ලබා ගැනීමේ දී ද සංක්‍රාන්ති ලිංගිකයින් ඉවත හෙළීමට බොහෝ ආයතන කටයුතු කරන බව ඇය පෙන්වා දෙනවා.

තව ද මෙරට පොලීසියෙන් විසින් ද සංක්‍රාන්ති ලිංගිකයින්ව විවිධාකාරයේ තාඩන පීඩනවලට ලක් කෙරෙන බව ඇය කියා සිටිනවා.

පසුගිය දිනෙක දහවල් කාලයක දී ඇය නිකරුණේ අත්අඩංගුවට ගත් බවත් රාත්‍රී 10වන තුරු තමාව පොලිස් ස්ථානයේ රඳවා සිටි බවත් ඇය පවසනවා.

රාත්‍රී 10වන තුරු රඳවා ගත්තේ තමන් අයාලේ ගිය බවට චෝදනා කිරීමට පොලීසියට අවශ්‍ය නිසා බව යි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඉන් පසුව ද තමා රඳවා තැබුවේ ගැහැණු සිරමැදිරියේ නොව පිරිමි සිරමැදිරියේ බවත් තමාව ගැහැණු මැදිරියේ රඳවා තබන්නැයි හඬමින් පැවසුව ද පොලීසිය ඊට කන් නොදුන් බවත් ඇය චෝදනා නගනවා.

උසාවියට ඉදිරිපත් කෙරෙන අවස්ථාවේ දී ද තමාව රඳවා තැබුවේ පිරිමි පුද්ගලයින් 100ක් පමණ සිටි සිරමැදිරියක බවත් එහි දී ඇයට එම රැඳවියන්ගෙන් අතවර පවා සිද්ධ වුණු බවත් ඇය ප්‍රකාශකොට සිටිනවා.

මෙම කරුණු සහ ඇය පැවසූ තවත් දෑ ඇතුළත් හඬපටය සහිත වීඩියෝව පහතින් > > > 

Rate this item
(3 votes)
Last modified on Thursday, 13 October 2016 10:19