May 18, 2024

දෙරණට ආ උමාරියා රටම වශීකරයි (VIDEO)

උමාරියා සිංහවංශ යනු මෙරටින් බිහිවුණු අති දක්ෂ තරුණ ගායන ශිල්පිණියක්.

මෙරට කාන්තා හඬ පෞර්ෂයේ උත්තරීතර ස්ථානයේ සිටින නන්දා මාලනියන්ටත් වඩා උමාරියා දක්ෂතාවයෙන් වැඩි බවට ද ඇතැම් අය පසුගිය කාලයේ අදහස් පළ කොට තිබුණා ඔබට මතක ඇති.

එම අදහස් සමාජ ජාල ආදියේ දැඩි සේ කතාබහට ද ලක් වුණා.

ශ්‍රී ලංකීය සංගීතයේ කැපීපෙනෙන වෙනසක් සිදු කළ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් දෙපළත් සමග ලාංකික ගීත රසිකයා හඳුණාගත් උමාරියා අදවන විට ඇගේම අනන්‍යතාවක් සමගින් නවමු සංගීත සළකුණක් තබන්නට සමත් වී තිබෙනවා.

මෙරට සමාජ ජාල සහ අන්තර්ජාල පරිශීලකයින්ගේ මෙන්ම රූපවාහිනී නරඹන්නන්ගේ උමාරියා පිළිබඳ වූ අවධානය යළිත් වැඩි වූයේ පසුගිය දිනෙක ඇය සහභාගී වූ රූපවාහිනී වැඩසටහනක් හේතුවෙන්.

ඒ ප්‍රවීණ ගීත රචක කැළුම් ශ්‍රීමාල් ඉදිරිපත් කරන දෙරණ නාලිකාවෙන් විකාශයවන "මා නොවන මම" වැඩසටහන යි.

මෙරට විවිධ ගායන ශිල්පීන්, ශිල්පිනියන් ගායනා කළ ගීත එදිනට සහභාගීවන කලාකරුවාට ආවේණික හඬින් ගායනා කරවීම යි එම වැඩසටහනේ දී සිදුවන්නේ.

මෙහි ඇති නවමු ආකෘතිය නිසාම ලාංකීය ප්‍රේක්ෂකයින් අතර "මා නොවන මම" වැඩසටහන අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා.

උමාරියා සහභාගී වූ වැඩසටහනේ දී ද විවිධ ශිල්පීන් විසින් ගැයූ ගීත විශිෂ්ඨ ලෙස ගායනා කිරීමට ඇය සමත් වුණා.

එම ගීත මේවන විට සමාජ ජාල පුරා වේගයෙන් සංසරණයවන බව ද පෙනෙන්නට තිබෙනවා.

එමෙන්ම උමාරියාගේ ගැයුම් අගයමින් අදහස් පළකිරීම් ද විශාල ගණනක් එකතුවෙමින් පවතිනවා.

මේ අතර දේශපාලනඥයින් ද සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද තම ෆේස්බුක් පිටුවෙහි උමාරියාගේ ගායනය පිළිබඳව දක්වා තිබුණේ පහත ආකාරයේ අදහසක්.

"දේශපාලන තුල රැදි ජිවිතයේ විරාමයක ඇස රැදි සුන්දර වැඩසටහනක්…
ඇය ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනයාවි නිසැකවම..
උමාරියා ඔබට අපගේ සුභ පැතුම්…"

ජවිපෙ නායකයාගේ ඇගයුමට උමාරියා ද ස්තුතිකොට ෆේස්බුක් හරහාම පිළිතුරු ලබා දී තිබුණා.

ඒ පහත ආකාරයෙන්.

Umariya_2016

උමාරියා සහභාගී වූ "මා නොවන මම" සම්පූර්ණ වැඩසටහනේ වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 September 2016 13:53