May 18, 2024

ජාත්‍යන්තරයට අනුව මෙරට හොඳම හෝටල් 25 පෙළගැහෙන්නේ මෙහෙමයි (PHOTOS)

September 15, 2016

සංචාරයේ යෙදෙන පුද්ගලයින් අතර විශේෂ අවධානයට ලක් වෙන රටවල් කිහිපයක් ලෝකය තුළ පවතිනවා. එම රටවල් එසේ අවධානයට ලක්වීමට විවිධාකාර හේතූන් බලපාන අතර පාරිසරික සුන්දරත්වය, ජෛව විවිධත්වය, සංස්කෘතික විවිධත්වය, කලා කෘති සහ ඉතිහාසය ආදී බොහෝ කරුණු ගෙනහැර පෑමට පුලුවන්. එමෙන්ම දේශගුණික තත්ත්වය වැනි කාරණා ද සුවිශේෂයි. අප ජීවත් වෙන ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර සංචාරකයින්ගේ නොමඳ අවධානයට මෙන්ම ආකර්ශණයට ලක් වෙන රටවල් කිහිපයෙන් එකක් බව රහසක් නොවෙයි. විශේෂයෙන්ම පැවැති යුධ වාතාවරණය පහව යාමත් සමග ලොව අනර්ඝතම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ජාත්‍යන්තර ඇස යොමු වුණා.

සංචාරකයින් අතර යම්කිසි රටක් ප්‍රසාදයට පාත්‍ර වන්නට එහි ඇති සුන්දරත්වය හෝ විවිධත්වය වැනි දෑ පමණක්ම හේතු වන්නේ නැහැ. කෙතරම් සුන්දරත්වයෙන් අනූන රටක් වුවත් සංචාරකයින් හට ලැබෙන ආගන්තුක සත්කාර ආදිය, එම රට පිළිබඳ ජාත්‍යන්තර ආකල්පය නිර්මාණය කිරීමට ප්‍රමුඛ හේතුවක් වනවා. රට තුළට පැමිණෙන සංචාරකයින්ට නවාතැන් ගැනීමට සහ විවේකීව කාලය ගත කිරීමට ඇත්තේ කවරාකාරයේ ස්ථාන ද, එම ස්ථානවලින් ලැබෙන්නේ කුමනාකාරයේ සත්කාර ද යන්න සංචාරක ක්ෂේත්‍රයේ දී රටක ආකල්පය පිළිබඳ තීරණාත්මක සාධකයක්. මේ හා බැඳුණු එම ස්ථානවල පිහිටීම, ආහාරපාන ආදී කාරණා ද විශේෂයෙන් බලපානවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණයට පාත්‍ර වීමට ද ඉහත පැවසූ පරිදි මෙරට පවතින ගුණාත්මක බවින් සහ ඉහළ ආගන්තුක සත්කාරවලින් පොහොසත් සංචාරක හෝටල් ද ඉටුකරන්නේ මහගු සේවයක්. මෙරට පුරා පැතිරුණ සංචාරක හෝටල් විශාල ගණනක් අතුරින් හොඳම හෝටල් 25ක් ලැයිස්තුගත කිරීමට TripAdvisor වෙබ් අඩවිය ක්‍රියා කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ දී ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක් සේ සැලකෙන TripAdvisor, අමෙරිකානු සමාගමකට අයත් වුවත් ලොව දස දෙස පැතිරුණු සංචාරකයින් තම සංචාරවලට අවැසි පෙර තොරතුරු ලබාගැනීමට භාවිත කරන ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස මෙම වෙබ් අඩවිය සැලකිය හැකියි. එමෙන්ම එම වෙබ් අඩවිය 2016 වසරේ වැඩිම සංචාරක අවධානය දිනාගත් වෙබ් අඩවිය ලෙස යි සැලකෙන්නේ.

TripAdvisor වෙබ් අඩවියට අනුව ගුණාත්මක බවින් ඉහළතම ලාංකික සංචාරක හෝටල් 25 පෙළ ගැසෙන්නේ මෙසේ යි.


1. Uga Bay Hotel

ශ්‍රී ලංකාවේ හොඳම වෙරළ තීරයන්ගෙන් එකක් ලෙස සැලකෙන පාසිකුඩා වෙරළ තීරය අබියස මෙම හෝටලය පිහිටා තිබෙනවා. භූගත සම්බාහනාගාරයකින් ද මෙය සමන්විත වෙනවා.

2. Jetwing Vil Uyana

 මෙය ඓතිහාසික සීගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයක්. මනස්කාන්ත වෙල් යායක් මධ්‍යයේ මෙය පිහිටා තිබීම විශේෂයක් සේ සැලකෙනවා.

3. Cape Weligama

සාගරයට මුහුණලා පිහිටි මෙම හෝටලය වැලිගම තුඩුවෙහි පිහිටි එකක්. සාම්ප්‍රදායික ධීවරයින්, ඉපැරණි ප්‍රදීපාගාර ආදිය මෙහි පැමිණෙන සංචාරකයින් අමන්දානන්දයට පත් කරනවා.

4. Amanwella

මෙය තංගල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන හෝටලයක්. වෙරළ ආසන්නයේ පිහිටි මෙය මනරම් පොල් වගාවකින් වටවී තිබෙනවා.

5. The Fortress

මෙම හෝටලය පිහිටා තිබෙන්නේ කොග්ගල ප්‍රදේශයේ. ඓතිහාසික ගාල්ල නගරයෙන් කිලෝමීටර 17ක් පමණ දුරින් පිහිටි මෙම හෝටලයත් දැකුම්කළු සාගර දර්ශන පථයකට මායිම්ව පවතිනවා.

6. Jungle Beach

මෙය පිහිටා ඇත්තේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ කුච්චවේලි ප්‍රදේශයේ. තල්මසුන් නැරඹීමට සහ තල්මසුන් අසළ පිහිනීමට ද මෙහි යන සංචාරකයින්ට හැකියාව ලැබෙනවා.

7. Jetwing Yala

යාල ජාතික වනෝද්‍යානයට මායිම්වයි මෙම හෝටලය පිහිටා ඇත්තේ. වන සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම වෙරළ තීරයේ සුන්දරත්වය ද විඳගත හැකි ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

8. Aliya Resort and Spa

මෙය සීගිරියේ පිහිටි තවත් අගනා හෝටලයක්. සීගිරිය පර්වතය එක එල්ලේ දර්ශනය වීම මෙහි වටිනාකම වැඩි කිරීමට එක් හේතුවක්.

9. Anilana Nilaveli

නිලාවැලි වෙරළ තීරයේ කොටසක පිහිටි මෙම හෝටලය එතරම් ඈත ඉතිහාසයකට හිමිකම් නොකිව්වත්, කෙටි කාලයක දී අද්විතීය නමක් හිමිකරගත් එකක්. මෙය ආගන්තුක සත්කාර අතින් ඉතා ඉහළ ස්ථානයක් ලෙසයි මෙහි පැමිණි පිරිස් පවසා ඇත්තේ.

10. Anilana Pasikuda

මනරම් පාසිකුඩා වෙරළ තීරය මායිම් කරගත් තවත් හෝටලයක්. සංසුන් විවේකයක් ලබා ගැනීමට ඉතා අගනා ස්ථානයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

11. Amangalla

මෙය ඓතිහාසික ගාලු නගරයේ පිහිටි හෝටලයක්. ආයුර්වේද සත්කාර ද ලබාගත හැකි වීම මෙම හෝටලයේ විශේෂත්වයක් ලෙස යි පැවසෙන්නේ.

12. Barberyn Beach Ayurveda Resort

මෙය පිහිටා ඇත්තේ වැලිගම ප්‍රදේශයේ යි. ඉතා දැකුම්කළු ලෙස නිර්මාණය කර ඇති මෙම හෝටලයේ ද ආයුර්වේද සත්කාරවලට ප්‍රමුඛස්ථානය ගෙනදෙනවා.

13. Jetwing Lagoon

මීගමුව ප්‍රදේශයේ පිහිටා තිබෙන හෝටලයක්. මීගමුව කළපුව ආසන්නයේ පිහිටීම මෙහි ඇති විශේෂත්වයක්.

14. Hotel Mermaid & Club

කළුතර පිහිටි තවත් මනරම් හෝටලයක්. ලාංකික ධිවර ක්‍රියාකාරකම් හොඳින් දැකබලාගත හැකි ස්ථානයක්.

15. Vivanta by Taj - Bentota

බෙන්තොට පිහිටි තරු පහේ හෝටලයක්. දැකුම්කලු ලෙස සැකසූ පරිසරයකට සහ අනර්ඝ වෙරළ තීරයකට මෙය හිමිකම් කියනු ලබනවා.

16. Eden Resort & Spa

මෙය පිහිටා ඇත්තේ බේරුවල ප්‍රදේශයේ. රන්වන් වෙරළ තීරයත් අගනා සමුදුරු දසුනත් හේතුවෙන් මෙය කැපී පෙනෙනවා.

17. Heritance Ahungalla

අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි දැකුම්කලු හෝටලයක්. ලාංකීය වෙරළ තීරයේ ඇති සුන්දරත්වය මේ හෝටලය හරහා ද හොඳින් විඳගත හැකියි.

18. Lanka Princess

මෙම හෝටලය පිහිටා ඇත්තේ අළුත්ගම ‍ප්‍රදේශයේ. ආයුර්වේද සත්කාරවලට මුල්තැන ලබා දෙන හෝටලයක් ලෙස ප්‍රකටයි.

19. Suriya Resort

වෛක්කාල් ප්‍රදේශයේයි මෙම හෝටලය පිහිටා ඇත්තේ. මෙය සොභාවික පරිසරයත් සමග මනාලෙස ගලපමින් ගොඩ නගා තිබෙනවා.

20. Cinnamon Wild Yala

මෙය කිරින්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයක්. සංචාරකයින් ඉතා ප්‍රිය කරන යාල ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටා මෙය තිබෙනවා.

21. Heritance Tea Factory

මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර 2ක පමණ උසින් පිහිටි මෙය නුවරඑළියේ පිහිටි හෝටලයක්. අන් කවර ස්ථානයකටත් වඩා වෙනස්ම අත්දැකීමක් මෙහි දී ලබාගත හැකි වීම විශේෂත්වයක්.

22. Club Hotel Dolphin

වෛක්කාල් ප්‍රදේශයේ පිහිටා ඇති තවත් හෝටලයක්. මෙහි පැමිණෙන්නන්ට ඩොල්ෆීන් සතුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමට හැකියාව ලැබීම විශේෂත්වයක් ලෙස සළකන්නට පුළුවන්.

23. Heritance Kandalama

කණ්ඩලම වැව් ඉස්මත්තේ පිහිටි දැකුම්කළු හෝටලයක්. මෙහි සුවිශේෂීම කාරණාව වන්නේ පරිසර හිතකාමී ලෙස ගොඩනගා තිබීම යි.

24. Cinnamon Lodge Habarana

මෙය පිහිටා ඇත්තේ හබරණ ප්‍රදේශයේ. හබරණ වැවට ඉතා සමීපයෙන් පිහිටීම විශේෂත්වයක්.

25. Colombo Courtyard

මෙරට අගනගරයවන කොළඹ නගරයේ පිහිටි හෝටලයක්. 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 15 September 2016 17:34