May 09, 2024

ප්‍රභාකරන් මැරූ සත්‍ය කතාව ලියූ සෙන්පති කමල් ගුණරත්න කතා කරයි

September 12, 2016

කුරිරු LTTE ත්‍රස්තයින් සමග පැවැති නිමාවූ යුද්ධය ආශ්‍රිත සත්‍ය සිදුවීම් ඇතුලත්කොට ලියූ "රණමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය පසුගිය දා එළිදැක්වූවා.

මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද අවධානය දිනාගෙන ඇති මෙම කෘතිය ලියූ විශ්‍රාමලත් යුධ හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සමග ජාතික පුවත්පතක් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණේ මේ ආකාරයට යි.


යුද අත්දැකීම් ඇතුළත් කර මෙවැනි පොත් දෙකක් ලියන්න හිතුණෙ ඇයි?

යුද්ධය කරගෙන යන කාලෙත් මං හිතුව දෙයක් තමයි අපි මෙච්චර අමාරුවෙන් මේ යුද්ධය කරගෙන යනවා. අපි ගොඩක් කැපකිරීම් කරනවා රට වෙනුවෙන්. සෙබළුන් මැරෙනවා. නිලධාරීන් මැරෙනවා. තුවාල වෙනවා. අපි විවිධ ආකාරයෙන් යුද්ධ කරනවා. මේ යුද්ධයේ මුල සිට අග දක්වා හිටපු කෙනෙක් විදිහට මම දැකපු දේ සහ අපි කරපු දේ මම ලියන්න ඕනෑ කියලා ඒ කාලෙමයි හිතුවෙ. එහෙම හිතපු දේ ඉටුකරන්න ගත්ත උත්සාහයක් තමයි මේ. මං හිතාගෙන හිටියා මං විශ්‍රාම ගියාමයි මේ පොත එළියට දාන්නෙ කියලා.

පොත ලිවීම ආරම්භ කළේ කොයි කාලෙද?

පොත ලිවීම ආරම්භ කළේ 2012දී. මං අවුරුදු හතරක් තිස්සේ ලිව්වා. මේ මෑතක් වෙනකම් පොත අවසන් කිරීමේ වැඩ කළා.

පොත එළිදැක්වීමට මෙච්චර කල් ගියේ?

ඒක පොඩි පොතක් නොවේ. සිංහල පොතේ පිටු 870ක් තියෙනවා. ඉංගී්‍රසි පොතේ පිටු 780ක් තියෙනවා. මගේ අත් අකුරෙන් ලියලා වෙනත් කෙනෙක් ලව්වා ටයිප් කරලා, වැරැදි බලලා, අඩුපාඩු හදලා ගන්නකොට කාලය ගතවුණා.

සිංහල හා ඉංග්‍රීසි පොත් එකම පොතේ පරිවර්තනද?

ඔව්. සිංහල පොත ඉංගී්‍රසි බසට පරිවර්තනය කළා. 2012 මැයි මාසයේ ලියන්න පටන් ගත්තෙ. සිංහල පොත ලියලා ඉවර කළා. 2014 ජනවාරි වගේ වෙනකොට මුල් පිටපත ඉවර වුණා. ඒත් දිගින් දිගටම එහි වැඩිදියුණු කිරීම් කළා.

ඔබ යුද්ධය කරන අතර දින සටහන් තැබුවාද? පොත ලිව්වේ දින සටහන් ඇසුරෙන්ද?

යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා සක්‍රිය දායකත්වයක් දක්වපු නිලධාරියකු ලෙස මගේ ඔළුවේ හුඟාක් දේවල් තිබුණා. මගේ මතකය බොහොම හොඳයි. ඒකට රුකුලක් විදියට 1983 ඉඳලා වෙච්ච සිදුවීම් හා දින වකවානු, මොකක්ද සිදුවුණේ කියන දත්ත මං ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයෙන් ලබා ගත්තා. මෙන්න මේ දවසේ මෙන්න මෙතන සොල්දාදුවන් මෙපමණ සංඛ්‍යාවක් එල්ටීටීඊ ප්‍රහාරයෙන් මැරුණා කියන එක එහි සඳහන් වෙනවා. ඒ කියන සිදුවීමට අදාළව මොකක්ද වුණේ කියන එක එවිට මං දන්නවා. යම් සිද්ධියක් ගැන සැකයක් ඇතිවූ විට මං අදාළ නිලධාරීන්ට කතා කර ඒ ගැන අසා දැනගත්තා. ඒ හැරුණාම කාගෙවත් සම්මුඛ සාකච්ඡා ගත්තෙ නැහැ. පැහැදිලි කරගැනීම් පමණක් අරගෙන පොත ලිව්වා.

ඔබේ සේවා කාලය තුළ පොත එළිදක්වන්නේ නැතිව විශ්‍රාම යෑමෙන් පසුව එළිදැක්වීමට කටයුතු කළේ ඇයි?

සේවා කාලය තුළ පොතක් ලියා එළිදක්වනවා නම් ඒකට අවසර ගන්න ඕනෑ. අපට එහෙම කරන්න බැහැ. එවැනි දේකට අවසර ගන්න ගියාමත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. බලධාරීන් අපට කියන්න පුළුවන් මේ මේ කොටස් සුදුසු නැහැ ඒවා අයින් කරන්න කියලා. පොතකදී එහෙම කරන්න බැහැ. මං හමුදාවේ ඉන්න කාලේ පොත ලියලා හමුදාවෙන් විශ්‍රාම ගත්තට පස්සෙ එළියට දාපුවාම කාටවත් ආයෙ කියන්න දෙයක් නැහැ. මං වැරැදි දෙයක් ලියලා නැහැ. මං ඔක්කොම ලියලා තියෙන්නෙ සත්‍ය දේවල්. කාටවත් මඩ ගහලා නැහැ. මං හිතනවා මං ගත්ත තීරණය හරියි කියලා. අර සුපිරි වෙළෙඳසලක් තියෙනවානේ 'ගෙදර යන ගමන්' කියලා. ඒ වගේ මං මේ මාසේ 5දා මගේ නිලඇඳුම එල්ලල තියලා අවුරුදු 35කුත් දවස් පහක සේවයකින් පස්සෙ ගෙදර යනවා. පහුවෙනිදා මං ඉගෙන ගත් පාසලට ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා මා ලියූ පොත මගේ සමාජයට ඉදිරිපත් කරලා මං ගෙදර යනවා සන්තෝෂෙන් ජයග්‍රාහී සොල්දාදුවකු විදියට. ඒකට තියෙන ප්‍රතිචාරය මට බලන්න පුළුවන්. විදේශගතවී සිටින මගේ බොහෝ හිත මිතුරන්, නෑයන් කමල් ගුණරත්නගේ පොත් එළිදැක්වීමට කියලා තමයි ඔවුන් ආවේ.

යුද රහස් මොකුත් ඔබ ලියූ පොතට ඇතුළත්ද?

යුද රහස් කියලා කිසිම දෙයක් මේ පොතට ඇතුළත් කර නැහැ. 'යුද රහස් කියන්නේ, යුද රහස්. රහස් පිටකරනවා කියන්නේ යුද්ධ කාලයේ සිදුවූ රහස් පිටකරනවා නම් ඒ කෙනා හමුදා නිලධාරියෙක් නෙවෙයි. අපි දැනගන්න ඕනෑ රහසක් රහසක් විදියට තියාගන්න. රහසක් එළිකරනවා කියන්නේ මං හිතන්නේ ඇඳගෙන හිටපු නිල ඇඳුමට කරන අගෞරවයක්.

යුද්ධය ගැන මෙච්චර කල් අනාවරණය නොවූ දේ ඔබේ පොතට ඇතුළත්ද?

ඔව්. උදාහරණයකට ප්‍රභාකරන් මියයෑමේ සත්‍ය කතාව මගේ පොතෙන් හෙළිදරව් කරනවා. අපේ සමාජයේ බොහෝ දෙනා කියනවා ප්‍රභාකරන් මැරෙන්න කලින් හිටපු ජනාධිපතිතුමා ළඟට අරන් ගියාලු. හිටපු ජනාධිපතිතුමා ප්‍රභාකරන්ව දණ ගස්සවලා කනේ පහරක් ගැහැව්වාලු. ඊට පස්සේ අපි ඒ මිනිහව ආයෙ නන්දිකඩාල් අරන් ගිහිල්ලා මැරුවලු. ඒවා ඇවිල්ලා ප්‍රබන්ධ. ප්‍රභාකරන් මෙහෙම ඝාතනය වුණයි කියලා සමහරු ඇහින් දැක්කා වගේ කියනවා. ප්‍රභාකරන් ඝාතනය වූ සත්‍ය ආකාරය මගේ පොතෙන් හෙළිදරව් කෙරෙනවා. කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව කියලා මං පොත හැඳින්වූයේ ඒකයි.

මේ ඔබ ලියූ පළමු පොතද?

ඔව්. මා ලියූ පළමු පොත. මං මගේ සහෝදර සේනාංකවල සහෝදර හමුදා නිලධාරීන්ටත් කියන්නෙ යුද්ධය ගැන ඔබලාගේ සත්‍ය අත්දැකීම් ලියන්න කියලයි.

Rate this item
(3 votes)