May 04, 2024

ඔලිම්පික් උළෙලට නොයැවූ අමිල බලධාරීන්ට නොපෙනුණේ ඇයි?

මෙවර ඔලිම්පික් උළෙල සඳහා බ්‍රසීලයේ රියෝ නුවර බලා ගොස් සිටින ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කිසිවෙකුට පදක්කමක් වෙත ලඟා වීමට නොහැකි වුණා.

රන්, රිදී හෝ ලෝකඩ පදක්කම් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් අතර ඉදිරියට පැමිණෙන්නට පවා නොහැකි වීම පිළිබඳව මෙරට ක්‍රීඩා ලෝලීන් තුළ පවතින්නේ කනස්සල්ලක්.

මේ අතර දුර පැනීම ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩකයෙකු මෙරට දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමත් සමග, ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ලාංකීය ක්‍රීඩකයින් තෝරාගත් ක්‍රමවේදය පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, එම නව ශ්‍රී ලාංකීය වාර්තාව බිහි කළ ක්‍රීඩකයාවන ගුවන් හමුදාව නියෝජනය කරන අමිල ජයසිරි ඔලිම්පික් කණ්ඩායමට ඇතුලත් නොවීම හේතුවෙන්.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී අමිල මෙම වාර්තාව බිහි කළා.

ඔහු එහි දී දැක්වූ දක්ෂතාව මීටර් 8.15ක්.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙවර ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ ඉසව්වෙහි 6 වැනි ස්ථානය ලැබූ ක්‍රීඩකයා දැක්වූ දක්ෂතාවටත් වඩා අමිලගේ නව වාර්තාව ඉහළ අගයක් ගැනීම යි.

එමෙන්ම අමිලගේ මීටර 8.15ක දක්ෂතාව රියෝ ඔලිම්පික් ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ පරිසාදන මට්ටම ද ඉක්මවනවා.

ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ ඉසව්වෙහි 6 වැනි ස්ථානය ලැබූ උරුගුවේ ක්‍රීඩක එමිලියානෝ ලාසා දැක්වූ දක්ෂතාව ලෙස සටහන් වූයේ මීටර 8.10ක්.

එමෙන්ම එම එහි 5 වැනි ස්ථානය හිමිකරගත් චීන ක්‍රීඩක වැං ජියනං දැක්වූ දක්ෂතාව මීටර 8.17ක් වෙනවා.

මේ අනුව අමිලගේ නව දක්ෂතාව වන මීටර 8.15ක වාර්තාව දුර පැනීමේ ඔලිම්පික් දක්ෂතා දර්ශකයේ 5 වැනි සහ 6 වැනි ස්ථාන අතර සටහන් කරවීමට මෙරට ක්‍රීඩා බලධාරීන්ට නොහැකි වූයේ මන්දැ යි ගැටළුවක් ඇතිවන බව අමුතුවෙන් කිවයුත්තක් නොවෙ යි.

මීට පෙර ද දුරපැනීමේ ඉසව්වේ සම ශ්‍රී ලංකා වාර්තාවට ද අමිල හිමිකම් කීවා.

එවන් පසුබිමක් යටතේ දී අමිලගේ දක්ෂතාව හඳුණාගෙන ඔහුට නිසි තැන ලබා දීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම පිටුපස තවදුරටත් සිතීමට ඇත්තේ ජාත්‍යන්තරයට අභියෝග කළ හැකි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙරට තුළ කොතෙකුත් සැඟවී සිටින්නේ ද යන්න යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 August 2016 14:57