May 19, 2024

වැඩිම මිල ඇති දමිළ නළුවන් 10 දෙනා (PHOTOS)

කොලිවුඩ් හෙවත් දකුණු ඉන්දියානු දමිළ සිනමාව ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද අතිශයින් ජනප්‍රිය යි.

මේ නිසාම කොලිවුඩ් සුපිරි සිනමා තාරකාවන්ට මෙරට ප්‍රේක්ෂකයින් තුළ ද ඇත්තේ අතිමහත් ඇල්මක්.

දමිළ සිනමාව තුළ නළු නිළියන් බොහෝ පිරිසක් සිටියත් එහි ඉහළම ස්ථානයේ රැඳෙන නිරන්තරයෙන් මතකයට එන තාරකාවන් කිහිපදෙනෙකු නම් කරන්නට පුළුවන්.

ඔවුන් අතුරින් සිනමා නිර්මාණයකට තම රංගන දායකත්වය වෙනුවෙන් වැඩිම මිළක් අය කරන සුපිරි තරු දස දෙනා පහතින්.

1. රැජිනිකාන්ත්

ඉන්දියාවේ දේවත්වයෙන් පවා පිදුම් ලැබූ රැජිනිකාන්ත් දමිළ සිනමා ක්ෂේත්‍රයේ වැඩිම මිළක් අයකරන සුපිරි තරුව ලෙස හැඳින්වෙනවා.

ඉන්දියානු රුපියල් කෝටි 30කට අඩුවෙන් නොගෙවන්නේ නම් 65 හැවිරිදි රැජිනිකාන්ත් චිත්‍රපටයකට සම්බන්ධ කර ගැනීමට නොහැකි බව යි වාර්තා වන්නේ.

එය එසේ වුවත් සාමාන්‍ය වශයෙන් ඔහු එක් චිත්‍රපටයකින් කෝටි 50ක් පමණ ආදායමක් ලබන බව පැවසෙනවා.

2. කමල් හසන්

දකුණු ඉන්දියානු ක්‍රියාදාම චිත්‍රපටවල රජු ලෙසටයි 61 හැවිරිදි කමල් හසන් හැඳින්වෙන්නේ.

ඉන්දියානු රුපියල් කෝටි 25ත් 30ත් අතර මුදලක් ඔහු එක් චිත්‍රපටයකට අය කරන බව වාර්තා වෙනවා.

එමෙන්ම රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් ද කමල් හසන් ඉහළ ආදායම් ලබන බව යි පැවසෙන්නේ.

3. විජේ

විජේ මෙරට ද අතිශයින් ජනප්‍රිය වූ දමිළ නළුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

තවමත් යොවුන් පෙනුමැති විජේගේ වයස අවුරුදු 42ක්.

සිනමා නිර්මාණයක රඟපෑම සඳහා කෝටි 25ත් 30ත් අතර මුදලක් අය කරන විජේ රූපවාහිනී නාළිකාවකට ද හිමිකම් කියනවා.

4. තාලා අජිත්

තාලා අජිත් රඟපෑ වේධලම් චිත්‍රපටය ඔහුට ජාත්‍යන්තර ජනප්‍රියත්වයක් හිමි කර දුන් නිර්මාණය ලෙසට සැලකෙනවා.

දකුණේ බොක්ස් ඔෆීස් රජු ලෙස හැඳින්වෙන තාලා අජිත්ගේ වයස අවුරුදු 45ක්.

එක් චිත්‍රපටයක් සඳහා ඔහු අය කරන මුදල ලෙස සැලකෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 20ත් 25ත් අතර මුදලක්.

5. සූරියා

කාන්තාවන්ගේ ආකර්ශණය වැඩියෙන්ම හිමිවන දමිළ නළුවෙකු ලෙස යි සූරියා සැලකෙන්නේ.

ඔහුගේ සිනහව රසිකාවියන්ගේ හදවත් උණුකරලීමට සමත් වන බවට ඉන්දීය සිනමා විචාරකයින් පවසනවා.

41 හැවිරිදි සූරියා 18 කෝටියක් පමණ මුදලක් එක් නිර්මාණයකට අයකරන අතර එම චිත්‍රපටයේ තෙලුඟු හඬකැවීම් සඳහා අමතර රුපියල් කෝටි 5ක් පමණ අයකරන බව යි වාර්තා වන්නේ.

6. වික්‍රම්

කොලිවුඩ් සිනමාව තුළ ජනප්‍රියත්වය එක දිගට පවත්වා නොගන්නා තරුවක් ලෙසට යි වික්‍රම් හැඳින්වෙන්නේ.

එක් කාලයක අතිශයින් ඉහළ යන ඔහුගේ ජනප්‍රියත්වය තවත් කාලයක දී පහළ යනවා.

කෙසේ වෙතත් ඔහු දායක වූ නිර්මාණ බොහොමයක් අති සාර්ථක ඒවා බවට පත් වූ බව චිත්‍රපට විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

50 හැවිරිදි වික්‍රම් එක් නිර්මාණයකට රුපියල් කෝටි 12ක් පමණ අය කරනවා.

7. ධනුෂ්

ධනුෂ් නම ඇසූ පමණින් ඔබ ඔහුව හඳුණනවා නොඅනුමාන යි.

ශ්‍රී ලංකාවේ ද අතිශයින් ජනප්‍රිය වූ "කොලවරි" ගීතයෙන් ලොවම වසඟයට ගත් ධනුෂ්ගේ වයස අවුරුදු 32ක්.

"කොලවරි" ගීතයෙන් ලද ජනප්‍රියත්වයත් සමග ධනුෂ් තමන් වෙනුවෙන් අය කෙරෙන මිල එක වරම ඉහළ දැමුවා.

ඔහු දැන් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 8ක් පමණ අය කරනවා.

කෙසේ වෙතත් මෙම මිල ද ළඟදීම තවදුරටත් ඉහළ දැමීමට ධනුෂ් තීරණය කර ඇති බවට යි කොලිවුඩ් අාරංචිමාර්ග පවසන්නේ.

8. කාර්ති

39 හැවිරිදි කාර්ති පසුගිය වසර කිහිපය ඇතුළත වේගවත් ජනප්‍රියත්වයක් හිමි කරගත් නළුවෙකු ලෙස යි චිත්‍රපට විචාරකයින් හඳුන්වන්නේ.

කාර්ති තම රංගනය වෙනුවෙන් අය කෙරෙන මුදල රුපියල් කෝටි 8ක් පමණ වනවා.

තම මිල ලඟදීම ඉහළ දැමීමට ඔහු ද බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

9. සිලම්බරාසන්

"සිලම්බු" නමැති ආදරණීය නාමයෙන් රසික හදවත් ආමන්ත්‍රණය කරන සිලම්බරාසන් වසර දෙක හමාරක් පමණ රංගනයෙන් ඈත් වී සිටියත් ඔහුගේ ජනප්‍රියත්වය නම් අඩු වී ඇති බවක් පෙනුනේ නැහැ.

33 හැවිරිදි සිලම්බු ඉන්දීය රුපියල් කෝටි 7ක පමණ මුදලක් එක් චිත්‍රපටයක් වෙනුවෙන් අය කරනවා.

10. ආර්යා

"රාජා රාණී" චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් ආර්යා ද කොලිවුඩයේ වැඩිම මුදලක් අයකෙරෙන නළුවන් අතර සිටින්නෙක්.

විශේෂයෙන් තරුණියන් අතර සිහින කුමරා බවට පත්ව ඇති ආර්යාගේ ඇස්වලට ඔහුගේ රසිකාවියන් බොහේ සෙයින් ඇළුම් කරන බව යි වාර්තා වන්නේ.

35 හැවිරිදි ආර්යා සාමාන්‍යයෙන් එක් චිත්‍රපටයක රඟපෑම සඳහා රුපියල් කෝටි 4ත් 5ත් අතර මුදලක් අය කරන බව සඳහන් වනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 25 July 2016 12:21