May 11, 2024

අවලස්සනයි කියා දියණියක් පියාගේ නිවස ඩෝසර් කරලා

තම පියා පදිංචිව සිටින තමාගේ මහගෙදර තම නව නිවසට නොගැළපෙන බව කල්පනා කළ දියණියක් පියා නිවසේ නොමැති අවස්ථාවක පියාගේ ඇඳුම් පැලඳුම් හා වෙනත් සියලු දෑ නිවස තුළ තිබියදීම පියාගේ නිවස ඩෝසර් කරවීමේ සිද්ධියක් කරන්දෙණිය පහළ මානාන ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

කරන්දෙණිය පොලීසිය සදහන්කරන අන්දමට විපතටපත් පියා විසින් තම දියණිය විවාහ වූ පසු ඇයට නිවසක් ඉදිකර ගැනීමට තමා පදිංචි වී සිටි ඉඩම දියණිය නමට පවරා දී ඇත.

දියණිය එම ඉඩමේ සුවිසල් නිවසක් ඉදිකොට ඇති අතර තමාගේ නිවසට පියාගේ පැරණි නිවස අවලස්සනක් ගෙන එන බව සිතා එම නිවෙස කඩා බිඳ දමන ලෙස පියාට යෝජනා කළත් ඔහු ඊට අකැමැති වී ඇත.

ඒ අනුව පියා නිවෙසින් බැහැර යන අවස්ථාවක් බලා මෙම දියණිය ඩෝසර් යන්ත්‍රයක් ගෙන්වා ගෙන පියා ජීවත් වූ නිවෙස ඩෝසර් කර දමා තිබේ.

ඇඳීමට ඇඳුමක්වත් නොමැති වූ පියා මෙම සිද්ධිය පිළිබඳව කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙතට පැමිණිලි කර ඇති අතර පොලීසිය විසින් අදාළ දියණිය ගෙන්වා ප්‍රශ්න කර ඇත.

පොලීසියේ අවවාද පිළිගත් දියණිය අලුතින් නිවෙසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 04ක මුදලක් පියාට දීමට කැමැති බව ප්‍රකාශ කොට ඇති අතර එම යෝජනාවට පියා ද කැමැත්ත ප්‍රකාශකර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 May 2016 00:37