May 17, 2024

ප්‍රභාකරන්ගේ රහස් තමිලනී පොතකින් හෙලි කරයි - අවසන් යුද්ධය ගැනත් හෙළිදරව්වක් 

හිටපු කොටි නායක ප්‍රභාකරන් නිතරම තුවක්කුව කෙරෙහි විශ්වාශය තැබූ අයෙකු බවටත්, නිරායුද වීමට දැක්වූ බිය නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වූ බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලනී මිය යාමට පෙර ලියන ලද පොතකින් හෙලි කොට ඇත.

‘‘ඔරු කුර්වාලින් නිලලිල්” හෙවත් තියුණූ අසිපතක සෙවනැල්ලේ සිට යන ග්‍රන්ථය මගින් කොටි නායිකා තමිලනී විසින් ප්‍රභාකරන්ගේ රහස් තොරතුරු හෙළි කොට ඇති අතර මීට අමතරව ‘‘පෝර්ක් කාලම්” හෙවත් යුද සමය යනුවෙන්ද ග්‍රන්ථයක් තමිලනී ලියා ඇති අතර මෙම ග්‍රන්ත ඊයේ (20) කිලිනෙච්චිය සමූපකාර ගොඩනැගිල්ලේදී  එලිදක්වනු ලැබීය.

තමිලනී මිය යාමට පෙර ලියන ලද මෙම ග්‍රන්ථ දෙක එලිදක්වා තිබුනේ ඇයගේ සැමියා වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි එස්. ජෙයකුමාර් නැමත්තා විසින්ය.

මේ අනුව එලිදක්වන ලද පොත් දෙකෙන් ‘‘ඔරු කුර්වාලින් නිලලිල්” පොතෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රභාකරන් තුවක්කුව අත්හැරීමට දැඩි මැලිකමක් දැක්වීම නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වීමට බලපෑ අතරම ප්‍රභාකරන් සෑමවිටම සිය ආරක්ෂාව පිළිබඳව දැඩි සැකයකින් පසුවූ බවටත් සාම ගිවිසුමේ ප්‍රතිඵලය නිරායුද වීම බවටත් එය අනාරක්ෂිත වීමක් බවටද ප්‍රභාකරන් අවධාරණය කරගෙන සිටි බවයි.

එමෙන්ම තමිලනී විසින් එම ග්‍රන්ථයේදී අවසන් යුද්ධය පරාජය වීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක්ද පෙන්වා දී ඇත.

වසර 30ක් තිස්සේ අඛණ්ඩව යුද්ධයට පෙළඹවීමෙන් කොටි සාමාජිකයින් දැඩි වෙහසකින් සිටි බවටත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තරයට පිවිසීම මෙන්ම හතරවන ඊලාම් කොටි අණදෙන නිලධාරීන් වයස 45ත් 50ත් අතර කිලෝමීටරයක් දුරටවත් දිවීමට නොහැකි වයස්ගත තත්වයේ සිටීම වැනි කාරණාවන්ය.

මෙම පොත් දෙක එලිදැක්වීමේ අවස්ථාවට දෙමළ සාහිත්‍ය ධරයෙක් වූ පී.කාන්තන් මහතාද තමිලනීගේ සැමියා මෙන්ම ඇයගේ මව හා සහෝදරියක්ද සහභාගී විය.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2016 09:35