May 17, 2024

කෙල්ලන් යොදවා සිසුන්ට බියර් පොවන සමාගම් ගැන හෙළිදරව්වක්!

ජනප්‍රිය පාසල් අතර මේ දිනවල පවත්නා වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග අතරවාරයේ බීර පානය සඳහා තරුණ පාසල් සිසුන් යොමුකර ගැනීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා පවසයි.

පසුගිය 2015 වසරේ පැවැති වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග සඳහා බියර් නිපදවන සමාගම් සිය ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්‌ වැය කර ඇතැයි ද වෛද්‍යවරයා අවධාරණය කරයි.

වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග සම්බන්ධව තමන් කළ සමීක්‍ෂණයට අනුව සෑම වසරකම බියර් පානය සඳහා අලුතින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක්‌ යොමුකර ගැනීම බියර් සමාගම්වල ඉලක්‌කය වී ඇතැයි හෙළිවී ඇති බව විජයරත්න මහතා පවසයි.

ඒ සඳහා තරුණ පාසල් සිසුන් යොමුකර ගැනීමට බියර් අලෙවිය සඳහා නව යොවුන් වියේ පසුවන තරුණියන් යොදා ගෙන ඇති බවත් එම එක්‌ තරුණියකට ක්‍රිකට්‌ තරගය පැවැත්වෙන දින දෙක හෝ තුන සඳහා ඇයගේ සේවය වෙනුවෙන් රුපියල් විසිපන්දහසකට අධික මුදලක්‌ ගෙවා ඇති බවත් අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය අසංක විජයරත්න මහතා ප්‍රකාශ කළේය.

2015 වසරේදී කොළඹ ජනප්‍රිය පාසල් දෙකක්‌ අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට්‌ තරගයේ දින දෙක සඳහා එක්‌තරා බියර් සමාගමක්‌ අනුග්‍රාහකත්වය දෙමින් රුපියල් ලක්‍ෂ 17 ක්‌ ලබාදී ඇතැයි හෙළිවූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 March 2016 13:07