May 12, 2024

ළමා අපචාර වීඩියෝ ජාවාරමක් හෙළි වෙයි

නැගෙනහිර පකිස්තානයේ සිදු වූ ළමා ලිංගික අපචාර සහ කප්පම් ඉල්ලා සිටීමේ සිදු වීම් මාලාවකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දාහතර දෙනෙකු අත්අඩංගුවට පත් වී ඇත.

සිය ගණනක් දරුවන් ලිංගික අපචාරයට ලක් වූ බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් අධිකරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පන්ජාබ් ප්‍රාන්තයේ මහඇමති ෂහ්බාස් ෂරීෆ් විසින් නියෝගයක් නිකුත් කොට තිබේ.

ප්‍රාදේශීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ කණ්ඩායමක් විසින් කුඩා දරුවන් ලිංගිකව අපයෝජනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටිගත කර පසුව එම වීඩියෝ වල සිටින දරුවන්ගේ දෙමව්පියන්ගෙන් කප්පම් මුදල් ගෙන ඇති බවයි.

කසූර් නම් ගම්මානය මෙම අපරාධ මාලාවේ කේන්ද්‍රය වූ බවයි පැවසෙන්නේ.

වැරදිකරුවන් නොව ලිංගික අපචාරයට ලක් වූවන් අපහාසයට පත් කරන සමාජයක් තුල තමන්ට සිදු වූ අපරාධයට විරුද්ධව නැගී සිටීමට හැකියාවක් නොමැති වීම මෙවැනි අපරාධ දිගින් දිගටම සිදු වීමට හේතුවක් බවයි වාර්තාකරුවන් පවසන්නේ.

පකිස්තානයේ ගම්බද පෙදෙස් වල ළමා අපචාර පුළුල් ලෙස පැතිරෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
සංඛ්‍යා ලේඛන වලට අනුව පකිස්තානයේ 2014 වසරේ ළමා අපචාර සිදු වීම් තුන්දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඉන් 67%ක් ගම්බද ප්‍රදේශ වලින් ඉදිරිපත් වී තිබේ.

2009 වසරේ නොවැම්බර් මාසයේ කැමරාවක් සහිත දුරකථන පකිස්තානය පුරා ව්‍යාප්ත වූ අතර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන වීඩියෝ පට බොහොමයක් පටිගත කොට තිබෙන මේ වකවානුව තුළයි.

“සැඟවූ කැමරා ඉදිරියේ මට ලිංගික අතවර සිදු කළා. සතියකට පස්සේ ඒ සිද්ධියේ වීඩියෝ එකක් මට පෙන්නලා කිව්වා කරන්න කියන දේ නොකලොත් වීඩියෝ පටිය මගේ පාසලේ මිතුරන් අතරේ බෙදනවා කියලා.” ලිංගික අපචාරයට ලක්වූ පිරිමි දරුවෙකු බීබීසි උර්දු සේවය සමග කියා සිටියේ තමන් වයස අවරුදු එකොළහේ දී මෙලෙස අපයෝජනයට ලක් වූ බවයි.

තවත් පකිස්තාන කාන්තාවක් බීබීසියට කියා සිටියේ සිය පුතා වසර පහක් තිස්සේ මේ ආකාරයේ තර්ජන වලට මුහුණ දෙමින් සිට ඇති අතර තමන් ඒ බව දන ගත්තේ මෑතක දී වන බවයි.

පකිස්තානයේ මේ දක්වා සිදු වූ විශාලතම ළමා අපචාර අපරාධ මාලාව ලෙස මෙය හැඳින්විය හැකි බවයි බලධාරීන් පවසන්නේ.

පකිස්තාන ජන මාධ්‍ය වාර්තා කළේ දරුවන් ලිංගික අපචාරයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පට සිය ගණනක් නිකුත් වී ඇති අතර වයස අවරුදු 14ට අඩු දරුවන් 280කට වැඩි පිරිසක් අපයෝජනයට ලක් වී ඇති බවයි.

| BBC

Rate this item
(9 votes)