April 27, 2024

ලොකු බඩගින්නක් තිබ්බා, හොඳට කෑවා... රෝහලෙන් පිටතට ආ දිමුත් කියු දේ...

February 03, 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා නුවර මානුක ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රීකට් තරඟය අතරතුර අනපේක්ෂිත අනතුරකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට සිදුවුනා. ඒ තරගයේ දෙවන දින (2) ශ්‍රී ලංකා පළමු ඉනිම සදහා පිත්ත හසුරුවමින් සිටි දිමුත් කරුණාරත්න වෙත ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසින් පැ.කි 142 ක වේගයෙන් එවු කෙටි පන්දුවක් දිමුත්ගේ හෙල්මටය අසලින් ගොස් හිසේ පිටුපස වැදීමයි. පන්දුව හිසේ වැඳිමත් සමඟම දිමුත් බිම ඇද වැටුණු අතර පසුව පුහුනුකරුවන්, කණ්ඩායම් ක්‍රීඩා වෛද්‍යවරුන් සහ ඕස්ට්‍රේලියානු බලධාරින් එක්ව දිමුත්ව වහා රෝහල් ගත කරනු ලැබුවා.

කෙසේ නමුත් කැන්බරා රෝහල තුළදී වහා සිදු කරන ලද ස්කෑන් පරික්ෂන කිහිපයකින් අනතුරුව දිමුත්ගේ තත්ත්වය බරපතළ නොවන බව අනාවරණය වී ඇති අතර පසුව ඊයේ පස්වරුවේ දිමුත් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව  ගොස් තිබෙනවා.

( ඡායාරූපය - ගයාන් සේනානායකගෙන් ) 

ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවීමෙන් පසු දිමුත් සිය ෆේස් බුක් ගිණුම හරහා තමාට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් වෙත හරි අපුරු සටහනක් තබා තිබුණා.

“ ශ්‍රී ලංකාවේ සහ ලොව වටා සිටින මගේ සියලුම ප්‍රේක්ෂකයින් වෙතයි, මම හිතනවා වේදනවෙන් තොරව ලැබෙන ජයග්‍රාහණයක් නැහැ කියලා. ඔබ මා ගැන සිතා අද මධ්‍යානයේ සුසුමක් හෙලුවා නම් මම කියන්න කැමතියි මම ජීවතුන් අතර සුවයෙන් සිටිනවා. නමුත් මම බොහෝම බඩගින්නෙන් හිටියා එබැවින් හොඳ ආහාර වේලක් රස වින්දා. මට දැන් අවශ්‍ය එකම දෙය අද විවේකගෙන හෙට නැවත ගොස් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව සටන් කිරීම. සැමදෙනාටම බොහෝම ස්තුතියි ඔබගේ සොයාබැලීම් වලට, ඉක්මන් සුවය පැතීම් වලට සහ යැදුම් වලට. ජයවේවා. මා සමඟ දිගටම රැදී සිටින්න. ”

සටහන - විදර්ශන ප්‍රනාන්දු

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 February 2019 11:35