April 27, 2024

ආදරණීය මුරලි අයියාට මැතිව්ස් සහ දිමුත්ගෙන් ලියුමක්!

මුත්තයියා මුරලිදරන් විසින් පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින ජ්‍යේෂ්ඨම ක්‍රීඩකයන් දෙපළක් වන සහ හිටපු නායකයන්ද වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්නව විවේචනයකට ලක් කළා.

එහිදී මුරලි ඔවුන් මුදල් නිසා ක්‍රීඩා කරන බවටද චෝදනා කර සිටියා. මුරලිගේ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස හුවමාරු වූ අතර ක්‍රිකට් ලෝලීන් අතර මත ගැටුම් පවා ඇති කිරීමටද සමත් වුණා.

මුරලිගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න විසින් ලියුමක් යොමු කරමින් මුරලිදරන් විසින් කළ ප්‍රකාශය පිළිබඳව සිය අදහස් පවසා තිබෙනවා.

එහිදී ඔවුන් දෙපළ පවසා තිබුණේ ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුම පිළිබඳව කළ ප්‍රකාශයන් වැරැදි සහගත බවයි. කොන්ත්‍රාත් සම්බන්ධව තිබූ ප්‍රධාන ගැටලුව මුදල් සම්බන්ධ සිදුවීමක් වන බවට මුරලිදරන් විසින් කළ ප්‍රකාශය අසත්‍ය බවද ඔවුන් සඳහන් කර තිබුණා.

ලිපියේ තවදුරටත් පවසා තිබුණේ මුරලි වෙත කවුරුන් හෝ වැරැදි තොරතුරු ලබාදි හෝ ගිවිසුමේ ගැටලු සහගත බව මුරලිට නිසි ලෙස දැනුම් දී නොමැති බවයි. එමෙන්ම මෙවැනි ආකාරය දෙයක් කරන්නට ඇත්තේ ක්‍රීඩකයන් සහ පරිපාලනය අතර භේදයක් ඇති කර අසමගිය ඇති කිරීමට කැමති පාර්ශ්වයන් විය හැකි බවද ලිපිය හරහා මැතිව්ස් සහ දිමුත් පවසා තිබුණා.

එමෙන්ම වැඩසටහන ආරම්භයේ පටන් තමන් දෙපළට සහ වත්මන් කණ්ඩායම පිළිබඳව මුරලි දැඩි වෛරයකින් කතා කළ ආකාරය පෙනී ගිය බවද ලිපිය හරහා පවසා තිබෙනවා.

මුරලිගේ ප්‍රකාශයන් නිසා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යයට බෙහෙවින් අහිතකර විය හැකි බවද එම ලිපිය හරහා පවසා තිබෙන අතර රූපවාහිනී වැඩසටහන්වල එවැනි දේවල් පවසනවාට වඩා ඒවා රැස්වීම් තුළදී පැවැසිය හැකිව තිබූ බවත් ක්‍රීඩකයන් දෙපළ පවසා තිබුණා.

මෙවර ක්‍රීඩකයන් 24 දෙනෙකු සඳහා ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම ලබාදී තිබුණු බවත්, සමහර පිරිසක් වෙත එය ලබාදී නොතිබුණු බවත් ලිපිය හරහා පෙන්වා දී තිබෙනවා. කොන්ත්‍රාත් ගිවිසුම නොලැබුණු ක්‍රීඩකයන් විසින් දක්ෂතා දක්වා තිබුණත්, ඔවුන් සාධාරණයක් ඉෂ්ට කර තිබුණත් ගිවිසුම නොලැබීම පිළිබඳව අපැහැදිළි තත්ත්වයක් ඇතිව තිබූ බවද එහි සඳහන් වෙනවා. 

තවත් ක්‍රීඩකයන්ව සිය ස්ථානයෙන් පහත හෙළීම පිළිබඳව ගැටලු සහගතව තිබු බවද ඔවුන් ලිපිය හරහා පවසා තිබුණා. එහි විනිවිදභාවයක් තිබුණා නම් සියලු සැකයන් දුරුව යනු ඇති බවද ක්‍රීඩකයන් දෙපළ සිය ලිපිය හරහා වැඩිදුරටත් පවසා තිබුණා. මෙහිදී කණ්ඩායමක් ලෙස සියලු දෙනා මෙයට එක් වුණු බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න විසින් මුත්තයියා මුරලිදරන් වෙත යැවු සම්පුර්ණ ලිපිය පහතින්,

Rate this item
(1 Vote)