April 27, 2024

අතීසාරෙට අමුඩේ ගහන්නා වැනි ක්‍රිකට් තීන්දු

February 06, 2019
  • දකුණු අප්‍රිකා සංචාරය සදහා නම්කළ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට.

  • වැරදි හදාගන්න චන්දිමාල් නැවතත් දේශිය තරග පිටියට.

කාලාන්තරයක් පුරා දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජයන්ගේ තවත් අමිහිරි අත්දැකීමක් පසුගියදා නිමාව දුටු ඕස්ට්‍රේලියානු සංචාරයේදී විද ගැනීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට නැවතත් සිදුවුණා.

සෑම දැවැන්ත පරාජයක් අවසානයේම " අප තරුණ කණ්ඩායමක්, එබැවින් වැරදි හදාගෙන ඉදිරි තරගාවලියට මුහුණ දෙනවා යැයි පාරම්බාන්නාවූ පුහුණුකරු හතුරුසිංහ සහ නායක චන්දිමාල් ඇතුළු නඩය වැරදි හදාගන්නේ යැයි කිසිම විටක නෙත් මානයේ නම් ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබුනේ නැත.

ලක්ෂ ගණනින් වාර්ශික කොන්ත්‍රාත් වලට අත්සන් කර සිටින වෘත්තීය ක්‍රීඩකයින් වන මොවුන් ක්‍රීකට් ඔස්සේ උපයන ආදායම ගැන අමුතුවෙන් කතා කළ යිතු නොවන්නේ,
එය මිලියන ගණනක් බව සෑම දෙනාම දන්නා කරුණක් නිසාවෙන්.

එහෙත් ගෙවන වැටුපට හෝ සාධාරණයක් කළ නොහැකි ලාංකේය ක්‍රීකට් නඩය පසුගියදා අවසන් වු ඕස්ට්‍රේලියානු සංචාරයේදීද, එතෙක් පරාජීත මානසිකත්වයෙන් සිටි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවතත් ජයග්‍රාහී මානසිකත්වයකට ගෙනාආවේ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 40කින්ද, දෙවන තරගය ලකුණු 366කින්ද පරාජයට පත්වෙමින්.

මෙකි පරාජය අවසානයේද නායක චන්දිමාල්    " අප තවම තරුණ කණ්ඩායමක්, මෙම තරගාවලියේ සිදුවු වැරදි නිවැරදි කරගෙන දකුණු අප්‍රීකාවට යනවා යැයි පැවසුවේ, ටෙස්ට් තරග 53කට ක්‍රීඩා කිරීමෙන් පසුවද ඔහු තවමත් ආධුනික යැයි සිතන නිසා විය යුතුය.

එවකට තරුණ ක්‍රීඩකයෙකු වු වත්මන් ඉන්දීය නායක විරාත් කෝලි ටෙස්ට් වරම් ලබන්නේ 2011.06.20 වන දිනයි.
මෙතෙක් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා වු දිනේෂ් චන්දීමාල් ටෙස්ට් වරම් ලබන්නේ 2011.12.26 දිනයි. එකම කාලයේ එකට ටෙස්ට් වරම් ලැබුවද අද වන විට ක්‍රීඩකයින් දෙදෙනා සිටින ස්ථාන අහසට පොළොව මෙන් වෙනස්. දෙදෙනාටම පරිනතවීම සදහා කණ්ඩායම තුළ  ඕනෑවටත් වඩා අවස්තාව ලැබිණි. දෙදෙනාගෙන්ම දුටු නායකත්වයේ ගුණාංග නිසා දෙරටේම ක්‍රිකට් අනාගතය වෙනුවෙන් නියමිත කලවයසටත් පෙරම නායකත්වය ප්‍රධානය කෙරුණි. කෙසේ වෙතත් වර්තමානය වන විට ලොව අංක 01කේ නායකයා මෙන්ම ලොව අංක එකේ ටෙස්ට් සහ සීමිත තරග පිතිකරුවා බවට විරාත් කෝලි පත්ව හමාරය. අපේ චන්දීමාල් තවමත් කණ්ඩායම සමග දිගින් දිගටම දරුණු පරාජයන් වලට මුහුණ දී අවසානයේ අපි තාමත් ආධුනිකයි කියයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයත් අහිමි වී දැන් දේශිය තරග පිටියට බැවත පල්ලම් බැසීමට සිදුව ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය හමුවේ අතීසාරයට අමුඩේ ගහන්නා වැනි පිළිතුරු සොයා වැඩක් නැත. නමුත් ක්‍රිකට් ආයතනය කලක පටන් දිගින් දිගටම අනුගමනය කරන්නේද එවැනිවු ප්‍රතිපත්තියි.

ඕනෑම කණ්ඩායම් ක්‍රියාකාරකමක් සාර්ථක  ඉදිරියට ගෙන යාම සදහා දිගුකාලින දැක්මක් ඇති නායකත්වය ලබාදිය යුතුයි. එහෙත් ලංකේය ක්‍රිකට් කණ්ඩායමයේ නායකත්වය යනු තරගාවලියෙන් තරගාවලියට වෙනස් වන්නකි. නැතහොත් තරගාවලියක් අසාර්ථක  වු විට නායකත්වය වෙනස් වේ. තවත් ලෙසකට ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමේ  නිශ්චිත ස්ථානයක් හිමිකර ගැනීමටවත් නොහැකි ක්‍රීඩකයින් නායකත්වයට ගෙන එන අපේ ක්‍රීකට් බලධාරින්ම පසුව තරගාවලියක් පරාජය වු විට එම ක්‍රීඩකයා නායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන්ද ඉවත් කර දමයි. පසුගිය කාල කෙටි කාල සීමාව තුළ වරින් වර ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් වරින් වර කණ්ඩායම මෙහෙයවා ඇත. පරාජයෙන් පරාජයට නායකයා මාරු විය. එහෙත් කිසිදු නායකයෙක් කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙයවීමට සමත් නොවිය. ඒ වනාහි ලංකාවේ ක්‍රිකට්‍ ය. හරි අමුතු ලොජීක්‍ ය.

මේ මොහෝතේ චන්දීමාල් යනු කණ්ඩායමේ නායකත්වයට සුදුස්සෙක් නොවේ. එහෙත් දිමුත් කරුණාරත්න එම ස්ථානයට සුදුසුද යන්නත්, දිමුත් හැර වෙනත් සුදුස්සෙක් සිටිද යන්නත් ගැටළු සහගතය. ඇත්තටම මේ මොහොතේ කණ්ඩායම වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකියාව ඇති නායකයෙක් අප කණ්ඩායාම තුළ ගොඩනගා නැත. ක්‍රිකට් බලධාරින් සැමදා කලේ අසාර්ථක වන කණ්ඩායමක කෙටි කලකට සාර්ථක වන ක්‍රීඩකයෙක් බලා ඔහුට නායකත්වය පිරිනැමීමයි. ක්‍රිඩකයෙක් තම පෞද්ගලික දක්ෂතා කෙටි කලකට සාර්ථක කරගත් සැනින් ඔහුට සමස්ථ කණ්ඩායමක් මෙහෙයවිය හැකිද...?
එසේ නායකයින් පත්කළ මීළගට සිදු කරනුයේ තරගාවලියක් පරාජය වු සැනින් නායකයා පිට වරද පටවා ඔහු නායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන්ද ඉවත් කිරීමයි. එවන් අතීත කථාවක් ඇති ලාංකේය ක්‍රිකට් තුළ නව නායකයා ලෙස පත්කර ඇති දිමුත් කරුණාරත්න දෙසද අප ඇස ගසා සිටිමු

මේ අතර එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව නම් කළ සංචිතයෙන් මෙතෙක් නායකත්වය හෙබවු දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇත්තේ ඔහුව ජත්‍යන්තර තරගවලින් විවේක ගැන්වීමේ අරමුණින්. එමෙන්ම පිතිකරුවෙක් ලෙස ඔස්ටේලියානු සංචාරයට නම් කළ එහෙත් එක තරගයක් හෝ ක්‍රීඩා නොකළ සදීර සමරවික්‍රමද, මීට පෙර තරගාවලිද සාර්ථක වු මෙම තරගාවලියේ අසාර්ථක වු රොෂේන් සිල්වාවද සංචිතයෙන් ඉවත් කර ඇත.

නම් කළ දකුණු අප්‍රිකා සංචිතය සදහා මේ දින වල පැවැත්වෙන දේශිය තරග පිටියේ උපරිම දක්ශතා අතර සිටින ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් වී ඇත. SSC කණ්ඩායම සමග පැවති තරගයේදී ද්විත්ව ශතක දෙකක් ලබා ගත් NCC කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා හා අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙක් වන හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු (තරග 9, ලකුණු 1181, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 73.81) එම ක්‍රීඩකයින් දෙපළයි.

එසේම පළපුරුදු පිතිකරුවන් යුගලයක් වන  ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හා මැදපෙළ පිතිකරුවෙකු වන මිලින්ද සිරිවර්ධනවද නැවතත් සංචිතයට කැදවා තිබේ.

ඔස්ටේලියානු සංචාරය සදහා ක්‍රීඩාකළ වේගපන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා ලහිරු කුමාර ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇත.

 සංචාරය අතරතුර ආබාධයට ලක්වු සුරංග ලක්මාල් මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින අතර ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අනෙක් යොවුන් වේගපන්දු යවන්නන්ගේ බලඇණිය වන කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරට දේශිය පිටියේ දක්ෂතා දැක්වු කොළඹ BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන වයස අවුරුදු 23ක් වන මොහොමඩ් ශිරාස්ව තෝරා පත් කරගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම හා අයර්ලන්ත A කණ්ඩායම අතර පසුගියදා පැවති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක තුළ කඩුලු 7ක් දවා ගත් අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් තුළ කඩුලු 23ක් දවාගෙන ඇත

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදු දගපන්දු යවන්නා වන දිල්රුවන් පෙරේරාද මෙම ටෙස්ට්  සංචිතයෙන්  ඉවත් කර ඇති අතර NCC කණ්ඩායම නියෝජනය කරන වයස අවුරුදු 23ක් වන වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙනියව සංචිතයට ඇතුළත් කර ඇත. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 23ක් ක්‍රීඩා කර කඩුලු 125ක් දවාගෙන ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (තරග සංචාරයේ නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ලහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, මොහොමඩ් ශිරාස්, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය.

ටෙස්ට් තරග කාලසටහන

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 13 -17 – ඩර්බන් හිදී

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 21 – 25 – පෝර්ට් එලිසබත් හිදී 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 February 2019 12:05