April 27, 2024

දිමුත් කරුණාරත්නත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන් එකා පසුපස එකා ක්‍රිකට් දිවියට සමුදීමේ සුදානමක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මීට ටික දිනකට පෙර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රීඩකයා වන හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම පිළිබඳව සිතමින් සිටින බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා.

ඊයේ (14) දිනයේ දී ශ්‍රී ලංකාවේ සිටි තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු සහ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් ද ලිපියක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අවසන් තීරණයක් ලබාදෙන ලෙස විමසා තිබුණා.

අද (15) දිනය වන තවත් කණාගාටුදායක පුවත් වාර්තා වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව දැනට සිටින ප්‍රවීණම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් සිය ක්‍රිකට් ජීවිතයට සමුදීමට සුදානමින් සිටින බවයි. 34 වැනි වියේ පසුවන සුරංග ලක්මාල් පසුගිය සමයේ පැවැති ක්‍රිකට් තරඟාවලියන්වලදී පන්දුවෙන් හොඳින්ම සාර්ථක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ද හොඳින්ම දන්නා කාරණයකි.

ඉන් නොනැවතුණු ජ්‍යේෂ්ඨයන්ගේ ඉවත්වීම් පිළිබඳව රැල්ල පසුගිය තරඟ පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතා දැක්වූ ළහිරු තිරිමාන්න ද ඕස්ට්‍රේලියාව වෙත යෑමට සුදානම් වන පුවතක් අද මාධ්‍ය වාර්තා කර තිබුණා. ළහිරු තිරිමාන්න 31 වැනි වියේ පසුවන අතර පසුගිය කාලයේ මෙරට පැවැති ටෙස්ට් තරඟාවලියන්වලදී ළහිරු දැක්වූ දක්ෂතා පිළිබඳවද ක්‍රිකට් ලෝලීන් හොඳින්ම දන්නා කාරණයක්.

ජ්‍යේෂ්ඨයන් සිව්දෙනෙකු මෙලෙස සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක්ව ඇතිව තිබෙන මෙහොතක දැන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ හිටපු එක්දින සහ T20 නායක දිමුත් කරුණාරත්න වෙතයි.

2015 වසරෙන් ඇරඹී ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජිත රැල්ලට යම් හෝ සහනයක් දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ටද යම් බලාපොරොත්තුවක් ගෙන දීමට හැකි වූ ක්‍රිකට් නායකයා ලෙස දිමුත් කරුණාරත්න මෙරට ක්‍රිකට්වලට ආදරය කරන පිරිස් අතර ගෞරවයට පාත්‍රව සිටියි.

මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ තිබූ අසමගිය ඉවත් කර ජයග්‍රහණය කරා මෙහෙය වීමට දිමුත්ට හැකි වූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තුළ විශ්වාසයක් තිබුණා. නමුත් අද වන විට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හෝ නොලැබෙන තැනකට පත්ව තිබීම කණගාටුවට කාරණයකි.

2017 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකයන් 09 දෙනෙකු පත් කර තිබේ. 

ඒ අතරින්, ඇන්ජෙලෝ මැතිව්ස් තරඟ 15ක් මෙහෙයවා ඇති අතර ඉන් තරඟ 05ක් ජයග්‍රහණය කළා. දිනේෂ් චන්දිමාල් තරඟ 09කින් ජයග්‍රහණ 04ක් හිමිකර දී තිබුණා. ළහිරු තිරිමාන්න තරඟ 02ක් මෙහෙයවා තිබුණත් කිසිදු ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.

උපුල් තරංග තරඟ 17ක් මෙහෙයවා තිබුණත් ජයග්‍රහණය කරගැනීමට හැකි වුණේ 1ක් තරඟයක් පමණයි. චාමර කපුගෙදර විසින් ද 1ක් තරඟයක් මෙහෙයවා තිබුණි. ලසිත් මාලිංග තරග 09ක් මෙහෙයවා තිබුණත් කිසිදු තරගයක් ජයගැනීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

තිසර පෙරේරා තරග 03ක් මෙහෙයවා ඉන් 1ක් ජයගැනීමට සමත්ව තිබුණා. දිමුත් කරුණාරත්න තරග 17ක් මෙහෙයවා ඉන් 10ක් ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දීමට සමත් වුණා. කුසල් පෙරේරා තරග 6ක් මෙහෙයවා ජයගත්තේ 01ක් තරගයක් පමණයි.

මෙම කරුණු සලකා බැලීමේදී දිමුත් හට යම් දෙයක් කිරීමට හැකියාව තිබුණු බව පැහැදිළිය. නමුත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දිමුත්ව 24 දෙනාගෙන් යුතු සංචාරයටවත් ඇතුළත් කරගෙන නොමැති අතර ඔහුව පුහුණු සැසියකට හෝ කැඳවා තිබුණේ නැහැ.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යේෂ්ඨයන් මෙලෙස කපා හැරීම තුළින් ඔවුන් කලකිරීමෙන් ඉවත් වෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ද පවසන කතාවක්. දැන් ඉතිරිව සිටින දිමුත් ද මෙම තීරණයට එළැඹෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කණගාටුවෙන් වූවද සිතමින් සිටියි.

Rate this item
(5 votes)