May 04, 2024

කැසිනෝ ආයෝජකයන්ට ලංකාවේ ඉඩක් නෑ

කැසිනෝ සඳහා කිසිදු ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(19) සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුව අවස්ථාවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

අනාගත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිදෙන ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡා කෙරුණු අවස්ථාවේ එක් ව්‍යාපාරිකයෙකු ප්‍රශ්න කළේ පසුගිය රජය කැසිනෝ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ඇරඹිම සඳහා සුප්‍රකට ව්‍යාපාරිකයන්ට අවස්ථා සැලසීමට ක්‍රියා කළ අයුරින් වත්මන් රජය ද කැසිනෝ ව්‍යාපාර දිරිමත් කරන්නේ ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ කිසිදු ආයෝජකයෙකුට අලූතෙන් කැසිනෝ ව්‍යාපාර ඇරඹිම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉඩකඩක් ලබා නොදෙන බවය.

රට සංවර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාර උපකාරී කර ගැනීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම ව්‍යාපාරික හමුවට විවිධ ක්ෂේත්‍ර  නියෝජනය කරන සිංගප්පූරුවේ ප්‍රමුඛ ව්‍යවසායකයින් රැසක් එක්වූ අතර, ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් විසින් කරුණු ගෙනහැර දක්වන ලදී.

මෙම හමුවට එක්වූ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා පැවසූවේ  විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ පරිසරයක් දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතින බවයි.

Rate this item
(0 votes)