May 04, 2024

මීතොටමුල්ල නිවාසවල සම්පූර්ණ වටිනාකම ගෙවීමට තීරණයක්

මීතොටමුල්ල ඛේදවාචකයෙන් විනාශයට පත්වූ නිවාසවල සම්පූර්ණ වටිනාකම රජය විසින් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ දී, මීතොටමුල්ල විපතට පත් ජනතා නියෝජිත පිරිසක් හමුවෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ එම ප්‍රදේශයේ කුලී පදනම මත ජීවත්වන ජනතාවට ද සහන දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. 

මේ අවස්ථාවට මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූ අතර, පීඩාවට පත් ජනතාවට තමන්ට සිදුවූ ඛේදවාචකය පිළිබඳව අගමැතිවරයා සමග විවෘතව සාකච්ඡා කිරීමේ අවස්ථාව හිමි විය.

එම අවදානම් කලාපයෙන් ඉවත්වීමට කැමැති පවුල්වලට නව නිවාස ලබාදීම, සිදුවී ඇති අවදානම තක්සේරු කරනතුරු රුපියල් 50,000 ක දීමනාවක් ලබාදීම, අවදානම් කලාපයෙන් ඉවත් වන්නන්ට ප්‍රවාහන දීමනාවක් ලබාදීම, නිවාස අධිකාරියෙන් එම ජනතාව ලබාගෙන ඇති ණය සඳහා වන හිඟ මුදල් කපා හැරීම, විනාශයට පත් වූ බඩු භාණ්ඩ, රථ වාහන ආදියට වන්දි මුදලක් ලබාදීම ආදී රජය විසින් මේ වන විට ගෙන ඇති තීරණ පිළිබඳව මෙහිදී ජනතාව දැනුම්වත් කෙරිණි. 

එළඹෙන අඟහරුවාදා දිනයේදී පීඩාවට පත් සියලූ ජනතාව කොටස් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තම ඉඩකඩම් පිළිබඳ ගැටළු නිරාකරණය කර ගන්නා ලෙසත්, ඔප්පු පිළිබඳ ගැටළු බ්‍රහස්පතින්දා දිනයේදී නිරාකරණය කර ගන්නා ලෙසත් මෙහිදී අගමැතිවරයා රජයේ නිලධාරීන්ට සහ ජනතාවට උපදෙස් ලබාදුනි. 

මෙම මූලික ගැටළු සඳහා විසඳුම් ලබාදීමෙන් පසුව අවශ්‍ය ඉදිරි පියවරයන් රජයට ගත හැකි බව ද අගමැතිතුමා පැහැදිළි කළේය. එම අවස්ථාවට පීඩාවට පත් ප්‍රදේශයේ ආගමික නායකයන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.  

 

Rate this item
(0 votes)