April 27, 2024

එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන වසන්ත කතා කරයි Featured

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්විය යුත්තේ බිම් මට්ටමේ ශාඛාවල සාමාජිකයින් යෝජනා කරන, පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ (14) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පාක්ෂිකයින් පිරිසක් අමතමින් පැවසීය.
 
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1125දෙනෙකුගේ නිවාස සෙවිලි කරගැනීමට රුපියල් ලක්ෂ 400ක් වටිනා උපකරණ සහ ආධාර ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
එහිදී ඒ මහතා මෙසේද කීය.
 
“යහපාලනය වෙනුවෙන් එළියට බැස්ස ප්‍රථමයා හැටියට යහපාලනය ආරක්ෂා කරන්න නම් අපි ආදර්ශවත් විය යුතුයි. අද කවුරුත් අහනවා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. තවමත් නිල වශයෙන් පක්ෂයකින් ඒ බව දැනුම් දී නැහැ. හැබැයි අපේ පක්ෂයේ අපේක්ෂකයා කවුරු විය යුතුද කියලා මම අදහසක් ඉදිරිපත් කරනවා. හැම දිස්ත්‍රික්කයකම තිබෙනවා බිම් මට්ටමේ ශාඛා. අන්න ඒවායින් ඇහුවානම් මහා ලොකු හඬක් එයි කවුද අපේක්ෂකයා කියලා. ඒ උපදෙසයි අපේ නායකයෝ ගතයුත්තේ. ජනතාව කවුද අනුමත කරන්නේ, ඔවුන්ගේ ඉල්ලීම කොතැනද, ඒ පුද්ගලයායි අපේ අපේක්ෂකයා විය යුත්තේ. අපේ පක්ෂයේ සාමාජිකයින්ට තීරණය කරන්න දෙනවා නම් ඔවුන්ගේ නායකයා කවුද කියලා, එයයි ප්‍රජාතන්ත්‍රවාදය.  අපි ඉදිරි දිනවලදී ලොකු සටනක් කරනවා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා, පාක්ෂිකයන් ඉල්ලන නායකත්වය අරන් එන්න” 

Last modified on Monday, 15 July 2019 12:20