April 27, 2024

කොළඹ ද්විත්ව ගුවන් පාලම් සැලසුම් කල දිනට අවසන්

February 13, 2022

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත් වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම් වල ප්‍රථම කොටසේ වැඩ කටයුතු සැලසුම් කල දිනට අවසන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ද්විත්ව ගුවන් පාලම් වල ඉහල කොටසේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් ව්‍යුහ ප්‍රවාහනය කිරීම අද දින සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

පැය 24 ම වැඩ කර මෙම ද්විත්ව ගුවන් පාලම් මෙම වසරේ ජුනි මාසයේ දී අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් වෙත උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.

කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත් වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම් වල ප්‍රථම කොටසේ වැඩ කටයුතු සැලසුම් කල දිනට අවසන් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තයි.

උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396ක්. එහි පළල මීටර 10.4ක්.

මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310ක්. එහි පළල මීටර 6.9ක්. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැය වන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)