May 04, 2024

මනෝ ෆෙඩරල් විසඳුම ප්‍රතික්ෂේප කරයි: දමිළ පක්ෂ කොටස් තුනකට බෙදෙයි 

ජනවාර්ගික ගැටලූවට විසඳුම් ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යැවීමට මෙරට දෙමළ පක්ෂ කිහිපයක් සාකච්ඡා පවත්වා තිබුණා. 

එම ලිපියෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන බලකර තිබුණද තම අරමුණ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන ෆෙඩරල් විසඳුම බව දමිළ පක්ෂ මෙම ලිපියෙන් පැහැදිලිව සඳහන් කර තිබෙනවා. 

ඊයේ (19) සවස සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්, නරේන්ද්‍ර මෝදිට ලියූ ලිපිය කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ මහතා හමුවී බාර දී තිබෙනවා. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 13වන සංශෝධනයෙන් ඔබ්බට යන සැලසුම්වලට සහය දිය නොහැකි බව පවසමින්, ආරම්භයේදී සාකච්ඡාවට සහභාගි වූ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, මේ වන විට මෙම ක්‍රියාමාර්ගයෙන් ඉවත්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

නරේන්ද්‍ර මෝදිට දමිළ පක්ෂවල් ලියූ ලිපියට, මනෝ ගනේෂන් අත්සන් කර නැහැ. 

ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකයින් වන පලනි තිගාම්බරම් සහ රාධාක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් තිදෙනාම සිටින්නේ මෙම ස්ථාවරයේ බවයි වාර්තා වන්නේ.  

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් ලියා අත්සන් කර ඇති දමිළ පක්ෂ වෙනුවෙන් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා, මාවෙයි සේනාධිරාසා, සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා, ඩී.සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා, සී.වී.විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ශ්‍රීකාන්තා, එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ සුරේන් කුරුසුවාමි ඊයේ ඉන්දීය තානාපතිවරයා හමුවී ලිපිය භාර දී තිබෙනවා. 

මේ අවස්ථාවේදී දමිළ දේශපාලන පක්ෂ අද ෆෙඩරල් ඉක්මවා යන විසඳුම, 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන ෆෙඩරල් විසඳුම සහ 13 වැනි සංශෝධනය තුළ එන විසඳුම යන ප්‍රධාන කොටස් තුනකට බෙදී තිබෙනවා. 

13 වැනි සංශෝධනයට විරුද්ධව සහ ෆෙඩරල් විසඳුමකට එහා ගිය විසඳුමක් ඉල්ලා, දමිළ ඩයස්පෝරාව ඊයේ ලන්ඩන් නුවරදී විරෝධතාවයක නිරත වුණා. එවැනි විරෝධතාවක් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මේ මස අවසානයේදී යාපනයේ සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

උතුරේ අනෙකුත් දමිළ පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනයේ ඇති 13 වන සංශෝධනයට ඔබ්බට යන ෆෙඩරල් විසඳුමකට බල කර සිටිනවා. 

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දකුණේ දමිළ පක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 13 වන සංශෝධනය තුළ විසඳුමක් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. 

මෙවැනි තත්ත්වයක් තුළ දකුණේ දමිළ පක්ෂවලට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන වෙනත් දමිළ පක්ෂද 13වන සංශෝධනයෙන් විසඳුමක් ඉල්ලා, මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් එක්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 17:14