May 03, 2024

කොරෝනා පැතිරුනේ ආණ්ඩුවේ වරදින්

November 10, 2020

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල පිළිබදව කොතරම් අනතුරු ඇඟවීම් සිදු කර තිබුණද ආණ්ඩුව කොරෝනා දෙවන රැල්ල වෙනුවෙන් සුදානම්ව නොසිටි බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල තවමත් සාමාජගතව නැතැයි ආණ්ඩුව පවසන්නේ වුවත් තමන්ගේ මෙන්ම බහුතර රටේ ජනතාවගේ නිගමනය වන්නේ කොරෝනා වයිරසයේ දෙවන රැල්ල දැනටමත් සාමාජගතව ඇති බව යන්න බවද හෙතෙම කියයි.

ගනේෂන් මහතා මේ බව පැවසුවේ ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා වයිරසය හා දේශපාලන තත්ත්වයන් පිළිබදව මාධ්‍ය කළ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල පැතිරයමින් තිබෙනවා. දෙවන රැල්ලක් පිළිබදව අනතුරු ඇඟවීම් සිදු කර තිබුණද ආණ්ඩුව එයට මුහුණදීමට සුදානම්ව සිටියේ නැහැ. එැබැවින් කොරෝනා වයිරසය පාලනය කිරීමට ආණ්ඩුව ගනු ලැබු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අපට කිසිසෙත් තෘප්තිමත් වෙන්න බැහැ. ආණ්ඩුව දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානම සම්බන්ධයෙන් අනුගමනය කළේ ඉතාමත් උදාසීන වැඩපිළිවෙලක්

කොරෝනා දෙවන රැල්ල ඇති වුයේ විදේශිකයින් මගින් බව පැවසෙනවා. දේශපාලන හා ආර්ථිකමය කාරණා වෙනුවෙන් මෙරටට ගෙන්වු විදේශීය පුද්ගලයින් මගින් දෙවන කොරෝනා රැල්ල ඇතිව තිබෙනවා.එමෙන්ම පැතිරෙමින් තිබෙන කොරෝනා වයිරසය ප‍්‍රබල බවත් වෛද්‍යවරු ප‍්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුව තවමත් කියන්නේ මෙම වයිරසය පැතීරීම සමාජගතව නැති බවයි. නමුත් අපගේ මතය නම් කොරෝනා වයිරසයේ දෙවන රැල්ල සමාජගත වී අවසන් බවයි.

යහපාලන ආණ්ඩුව කාලයේදි දෙමළ ජනතාවගේ සියලූ ඉල්ලීම් ඉටු කළ නොහැකි වුවත් යම්තාක් දුරකට එම ඉල්ලීම් ඉටු කළා. උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කළා. අපගේ ආණ්ඩු කාලය ආරම්භයේදි දේශපාලන සිරකරුවන් 200 ක් පමණ සිටියා. නමුත් ආණ්ඩු කාලය අවසන්වනවිට නිදහස් කිරීමට සිටියේ සිරකරුවන් 100 ආසන්න දෙනෙක් පමණයි. දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය පමණක් නොවෙයි. දෙමළ ජාතික සන්ධානය පවා එවක ආණ්ඩුවට විශාල සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළා. අප සියලූ දෙනාටම එම ජයග‍්‍රහණ හිමි වෙනවා. ඒ නිසා පැවති අපේ ආණ්ඩුව හොදයි කියල මම කියන්නේ නැහැ. නමුත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා නරකයි. භායනකයි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 1000 කළ යුතු බවට යෝජනා කළේ ලංකා කම්කරු කොංග‍්‍රසයි. වතු කම්කරුවන්ට රුපියල් දාහක් නොවෙයි දෙදහක් දෙනවා නම් අපි කැමැතියි. විශේෂයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයයේ මේ බව සදහන් වුණා. දැන් අපි ආණ්ඩුවේ නැහැ. දැන් ආණ්ඩුවේ සිටින ලංකා කම්කරු කොංග‍්‍රසය මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන.

මම ආණ්ඩුවට එකතුවන බවට ඇතැමුන් පවසමින් සිටිනවා. එවැනි කිසිම අරමුණක් අප පක්ෂයට නැහැ. සමගි ජනබවේගයේ ශක්තිමත් සාමාජික පක්ෂයක් ලෙස අප කටයුතු කරනවා. නායක සජීත් පේ‍්‍රමදාස මහතා අපට විශ්වාසයි.

ආණ්ඩුව විශයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදෙන විසදුම කුමක්ද කියා අපට පැහැදිලව ප‍්‍රකාශ කළ යුතුයි. එවැනි පැහැදිලි කිරීමක් කරන්නේ නම් , විසදුමක් ලබා දෙන්නේ නම් අපට ආණ්ඩුවට එක්ව සහයෝගය ලබාදීමේ අවශ්‍යතාවයක් නැහැ. මම ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවයකුත් නැහැ. විපක්ෂයේ සිට වුවත් ආණ්ඩුවට සහාය ලබාදෙන්න පුලූවන්. රටට යහපතක් වන කරුණු වෙනුවෙන් සහාය ලබාදීමේ ගැටලූවක් නැහැ.

අප ඉල්ලන විසදුම වන්නේ සමානාත්මතාවයයි. එවැනි විසදුමක් ලබාදෙන්නේ නම් මනෝ ගනේෂන් ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවක් නැහැ. එවැනි විසදුමක් ලැබුණේ නම් මනෝ ගනේෂන්ට දේශපාලනයේ රැදී සිටීමේ අවශ්‍යතාවයකුත් නැහැ.

Rate this item
(0 votes)

Related items