May 02, 2024

(EXCLUSIVE) විපක්ෂ නායකයා විදේශ තානාපතිවරුන් මුණ ගැසෙන්නේ ඇයි ? ස.ජ.බ ආණ්ඩුවට පිළිතුරු දෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් මුණ ගැසෙන්නේ අරමුණු කිහිපයක් මුල්කොට ගෙන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වර්තමානයේ මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්වය හමුවේ විදේශ රටවලින්ටජ අවශ්‍ය එන්නත් සහ සහයෝගය ලබා ගැනීම මේ මුණගැසීම් වල ප්‍රධාන අරමුණ බව අත්තනායක මහතා අවධාරණය කරයි.

විශේෂයෙන්ම කැනඩාව වැනි රටවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දස ගුණයකින් කොවිඩ් රෝගී තත්ත්වයට අවශ්‍ය කරන එන්නත් තිබෙන බවත් එවන් රටවලින් හැකි ආකාරයට එන්නත් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව විපක්ෂ නායකවරයාගේ අරමුණු වී ඇති බවද අත්තනායක මහතා සඳහන් කරයි.

රට බරපතළ අනතුරකට මුහුණ දීමේ දී සිටින මේ අවස්ථාවේ විපක්ෂයේ කාර්යභාරය එය විය යුතු බවත් විපක්ෂ නායකවරයා රට වෙනුවෙන් එම යුතුකම හා වගකීම නියම ආකාරයෙන් ම ඉටු කරන බවද අත්තනායක මහතා පෙන්වා දෙයි.

ඒ හැරුණුකොට මෙසේ තානාපතිවරුන් මුණගැසීම තුළින් සමගි ජන බලවේගයේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමද සිදු කරන බවත් එය සමගි ජන බලවේගය ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරන්නන් බවද අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

එම සාකච්ඡාවලදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්ව තිබෙන ආකාරය, මූලික මිනිස් නිදහස හා ආර්ථික කටයුතු ආදී රටක පැවැත්මට අවශ්‍ය කරන කාරණා පිළිබඳවද අදහස් හුවමාරු කර ගන්නා බව අත්තනායක මහතා සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පලකලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කීපය පුරාවටම ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් මුණ ගැසීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

පක්ෂ නායකවරයා තානාපතිවරුන් සමග පවත්වන සාකච්ඡාවලදී රටට එරෙහිව ගතු කේලම් කියනවා දැයි කළ විමසුමකට පිළිතුරු දුන් අත්තනායක මහතා රටට එරෙහි කිසිඳු දෙයක් විපක්ෂ නායකවරයා නොකරන බවත් එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙන්ම මානව හිමිකම් අයිතීන් උල්ලංඝනය කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිලිවෙල පිලිබදව දැනුවත් කරන බවද අවධාරණය කරයි.

විශේෂයෙන්ම ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත යොදාගෙන විපක්ෂය දඩයම් කිරීමට කරන කාරණා පිළිබඳව විදේශ තානාපති කාර්යාල දැනුවත් කිරීම ගතු කේලම් කීමක් නොව මහජන නියෝජිතයන්ගේ අයිතීන් මහජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමක් බවද අත්තනායක මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 May 2021 02:58

Related items