May 02, 2024

පළාත් සභා ඡන්දය ගැන ස.ජ.බ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම තීරණාත්මක සාකච්ඡාවක

මීට ටික මොහොතකට පෙර සමගි ජන බලවේගය නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම නියෝජිතයින් කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා ඇතුළු සාමාජිකයින් සමඟ සාකච්ඡා කොට ඇති අතර ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලිමක් කොට තිබේ.

මෙම සාකච්ඡාවේදී එම කොමිසමේ නියෝජිතයින් සමගි ජන බලවේග නියෝජිතයින් හමුවේ සඳහන් කර තිබෙන්නේ මතභේදයට තුඩු දී තිබෙන යෝජිත පළාත් සභා මැතිවරණය ක්‍රමය සම්බන්ධයෙන් වූ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එක දවසක් ඇතුලත එය අහෝසි කර ගැනීමට හැකි බවත් එසේ කරගතහොත් මාස දෙකහමාරක් ඇතුළත පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාව සිය කොමිසමට තිබෙන බවත්ය.

මෙහිදී හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ජනපතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් කර තිබෙන කොමිසමේ සභාපතිවරයා නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලීමක් කරන පිරිසක් සිටින බවද තමන්ට දැනුම් දුන් බවද හෙළිදරව් කොට තිබේ.

නව සංශෝධනය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යෝජනා වුවහොත් පළාත් සභා මැතිවරණය ලබන අගෝස්තු මස අවසන් වන තෙක් පැවැත්වීමට නොහැකි බවද කොමිසමේ සභාපතිවරයා සමගි ජනබලවේගයේ නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කොට තිබේ.

කොමිසමේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම අසා සිටි සමගි ජන බලවේගය නියෝජිතයින් පෙරළා ප්‍රකාශ කර තිබෙන්නේ පලාත් සභා පැවැත්වීමේ අදහසක් නැතිනම් මේ සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් එය සම්මත කොට පළාත් සභා මැතිවරණය ඇදෙන වැඩේ අවසන් කරන ලෙසය.

කොමිසමේ සභාපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබෙන බවද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 March 2021 08:37