May 01, 2024

(EXCLUSIVE) ගම්මන්පිල ඉන්දියාවේ ලනුව කෑවා : දුන්නේ තෙල් ටැංකි වුනාට ගත්තේ ත්‍රිකුණාමලයේ පාලනයයි

උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉන්දියාවට අවුරුදු 50කට විකුණන ලද්දේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ත්‍රිකුණාමල වරායට පිවිසෙන ස්ථානයේ තිබෙන තෙල් ටැංකි 14 බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හෙළිදරව් කරනවා.

එම තෙල් ටැංකි 14 ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන වැදගත්ම කොටස බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම ගනුදෙනුව හරහා ඉන්දියාව ගොඩබිම ආක්‍රමණයක් කර ඇති බව සඳහන් කරනවා.

ඉන්දියාවේ යටි අරමුණ

සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයාද වන ඔහු තව දුරටත් සඳහන් කරන්නේ මෙම ගනුදෙනුව හරහා ඉන්දියාව අත්පත් කරගත්තේ තෙල් ටැංකි නොව ත්‍රිකුණාමලයේ පාලනය කිරීමේ බලය බවයි.

ඉන්දියාවේ සැබෑ අවශ්‍යතාවය ඔය තෙල් ටැංකි ගැනීම නොව ත්‍රිකුණාමලය වරාය පාලනය කිරීම සඳහා එම වරාය ළඟම පිහිටි බිමක් අත්පත් කර ගැනීම බවයි ජාතික සංවිධායකවරයා හෙළිදරව් කරන්නේ.

ඉන්දියාවට ලබා දුන් තෙල් ටැංකි 14 පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමල වරායේ ජැටියට පිවිසෙන තැනම බව පෙන්වා දෙන අත්තනායක මහතා ඉන්දියාව මෙම ගිවිසුම හරහා අත්පත් කරගෙන තිබෙන්නේ ඒ බිම් කඩේ තිබෙන තෙල් ටැංකි බවද මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

දකුණු ඉන්දියාව

ඉන්දියාවට අවශ්‍ය නම් තමන්ගේ රටේ අවශ්‍ය තරම් තෙල් ටැංකි සාදා ගැනීමට පුළුවන් බව පෙන්වා දෙන අත්තනායක මහතා උතුරට ආසන්න දකුණු ඉන්දියාවේ ඒ සඳහා අවශ්‍ය තරම් ඉඩකඩ තිබෙන බවත් සඳහන් කරනවා.

තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 January 2022 11:59