May 05, 2024

මට දෙකම නැති වෙන්නයි යන්නේ - රවුෆ් හකීම්ගෙන් අනාවරණයක්

තමාට පක්ෂය හා පක්ෂ නායකත්වය යන දෙකම නැති වීමේ අවධානමක් ඇතිව තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සමගි ජන බලවේගය ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණයක් ගෙන තිබුණු අතර ඊට පටහැනිව යමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරුන් තිදෙනකු විසින් සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

එසේ ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපන ලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රවුෆ් හකීම් මහතාට බල කරමින් සිටී.

මේ වන විටත් ඔවුන්ව සමඟි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කොට තිබේ. ඒ බැව් ඉදිරියේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයාට දැනුම් දීමට නියමිත බව ද වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා මේ වන විට එම පෙරමුණෙන් ඉවත් කිරීමට එහි නායක මනෝ ගනේෂන් මහතා පියවර ගෙන තිබේ.

තමන් ගත් පියවර මුස්ලිම් කොන්ග්‍රසය සහ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත යුතු බවට මනෝ ගනේෂන් මහතාද බල කරමින් සිටී.

මේ අතර තමන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ආශිර්වාදය ඇතිව බව මුස්ලිම් කොන්ග්‍රසයේ හාරිස් මන්ත්‍රීවරයා දෙමළ පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබුණි.

Rate this item
(5 votes)
Last modified on Monday, 26 October 2020 14:39