May 17, 2024

යාපනයේ බිම් බෝම්බයක් පුපුරයි: අයෙක් මරුට (PHOTOS)

යාපනය මුහමාලෙයි කිලාලි ප‍්‍රදේශයේදී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගිය සාමාන්‍ය වැසියෙකුගේ මළ සිරුරක් හමු වූ බව පලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය කිලාලි ප‍්‍ර‍්‍රදේශයේ පදිංචි පී. සුදාකරන් නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 12 වනදා පස්වරුවේ දර කැඩීම සඳහා කිලාලි ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් නොකළ ප‍්‍රදේශයකට ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබඳ 13 වනදා පස්වරුවේ පලෙයි පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව පොලිසිය සිදු කළ සෝදිසියක දී මෙම පුද්ගලයාගේ මළ සිරුර කිලාලි ප‍්‍රදේශයේ තිබී 14වනදා සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පලෙයි පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙය යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුව ඇති මරණයක් බවත් එම පිපිරීමෙන් තවත් පුද්ගලයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ වනවිට අදාල පුද්ගලයා සම්බන්ධයෙන් ද පරික්ෂණ සිදු කරන බවත්ය.

මෙම පිපිරීමත් සමඟ පිපිරීම සිදුවූ ප‍්‍රදේශය මහජනතාවට තහනම් කලාපයක් ලෙස නම් කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පලෙයි පොලීසිය විසින් සිදුකරයි.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 August 2016 11:02