May 12, 2024

මහින්දගේ පාගමන නුවරින් ඇරඹීම තහනම් - එජාපයටත් උසාවි නියෝගයක් 

මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්‍රාත් බුද්‍ධික සී රාගල මහතා අද(27) තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයෙන් හෙට (28)) ආරම්භ කිරීමට සූදානම්ව සිටි පාද යාත්‍රාව මහනුවර නගර සීමාවට පිටතින් පටන් ගැනීමට සිදුවන පොලිසිය පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ද ප්‍රවර්ධන වැඩසටහන් කරන්නේ නම් එම වැඩසටහන එදින පස්වරු 2.00න් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.

ඒකාබද්ධ විප්කෂයේ ආගමික වතාවත් මහනුවර දළදා මාළිගාව අසල සිදුකිරීමට බාධාවක් නැතැයි අධිකරණය දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝගය ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට බාර දීමටද, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන්ට බාරදීමට ද නියෝග කැරිණි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ පාගමන මාවනැල්ල නගරයට ඇතුළු වීම වළක්වමින් මාවනැල්ල අධිකරණයෙන් ද තහනම් නියෝගයක් නිකුත් කැරිණි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 28 July 2016 11:11