May 21, 2024

විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩුව සූදානම්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අද (08) දිනයේ ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජය කළ යුතු බවට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ එ් සඳහා ආණ්‌ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා කියාසිටියේ  මුදල් ඇමැතිවරයාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පරාජය කොට ආණ්‌ඩුවේ ශක්‌තිය ප්‍රදර්ශනය කරන බවත් ඒ සඳහා ආණ්‌ඩු පක්‍ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට අද දින පාර්ලිමේන්තුවට නොවැරදිවම පැමිණෙන ලෙස දැන්වූ බවත් ය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත්තේ ද මුදල් අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇති බවයි.
 
ඔහු ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියා ඇත්තේ රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ශ්‍රීලනිපය ඉදිරිපත් කළ යෝජනාවක්‌ නොවන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමට විශ්වාසභංගයක්‌ සම්බන්ධව යෝජනාවක්‌ ඉදිරිපත් වී නොමැති බවත් ය.
 
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන වශයෙන් ඇති වෛරය පිරිමසා ගැනීමට බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කොට තිබේ.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 June 2016 09:39