May 06, 2024

සෝභිත හිමි ඝාතනය කළ බවට උඩුවේ හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේගේ මරණය ස්වභාවික මරණයක් නොව ඝාතනයක් බවට උඩුවේ ධම්මාලෝක හිමි ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

මෙයට පෙර ගංගොඩවිල සෝම හිමිගේ අපවත් වීම සම්බන්ධයෙන් ද මෙවැනි ගැටළු පැමිණි බව ධම්මාලෝක හිමි පවසා ඇත.

උඩුවේ ධම්මාලෝක හිමිගේ ප්‍රකාශය පහතින්.

"මම යළිත් හිරේ දැම්මත් ඉතා පැහැදිලිව කියනව සෝභිත හිමියන් අපවත් කළා කියන එක. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය ස්‌වාභාවික එකක්‌ නෙවෙයි කියන එක. උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය කළා. එය සාර්ථක වූවා. ඒ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. එම නිසා උන්වහන්සේගේ මරණය ඝාතනයක්‌මයි. උන්වහන්සේ මේ අයට විරුද්ධ වෙන්න පටන් ගත්ත ගමන් උන්වහන්සේව සූක්‍ෂ්මව ඝාතනය කළා.

ඒ වගේම මට සිංගප්පූරුවේදී දැන ගන්න ලැබුණා මරණයට ආසන්නව සිටියදී උන්වහන්සේ එරටට ගෙන ගිය බව එරට වෛද්‍යවරයා පැවසූ බව. එම නිසා උන්වහන්සේ බේරා ගැනීමට උනන්දුවක්‌ නොතිබුණ බවත් එම වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මැති ඇමැතිවරු පොඩි ලෙඩක්‌ හැදුනත් සිංගප්පූරුවට ඉක්‌මනින්ම යනවා. සමහර අය එහෙ ගිහින් මාස ගණන් සිටිනවා. ඒකේ වරදක්‌ මම කියන්නේ නෑ. නමුත් මේ ආණ්‌ඩුව පිහිටුවන්න උදව් කරපු සෝභිත හිමියන්ව කල් ඇතිව සිංගප්පූරුවට යවන්න කටයුතු නොකළේ ඇයි. ඇයි අපවත් වෙන මට්‌ටමට පත්වෙනකම් ඉඳල ගෙනිච්චෙ. ඒ වගේම ඇයි උන්වහන්සේගේ මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණයක්‌ සිදු නොකළේ. ඒ වගේම මට නිල නොලත් ආකාරයට දැනගන්න ලැබිල තිබෙනවා උන්වහන්සේගේ සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කළ බව. එහෙම කළේ ඇයි?

ඊට පෙර සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් මෙබඳු ප්‍රශ්න ඇති වූවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොමිසම ඉතා පැහැදිලිව සඳහන් කරල තිබෙනවා ප්‍රතිකාර මගහැරීමෙන් සිදුකළ සාපරාධී මරණයක්‌ බව.

මෙම හේතු සාධකයන් නිසා මට මුහුණදීමට සිදුවී තිබෙන ප්‍රශ්නය දේශපාලනික ද ආගමිකද කියන ප්‍රශ්නය ඇතිවී තිබෙනවා. මේ දෙකෙන් එකක්‌ තියන බව නම් පැහැදිලියි."

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2016 10:08