May 06, 2024

සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

December 03, 2021

ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් කලක් පෙනහලු පිළිකා රෝගයට ගොදුරු වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා අද උදෑසන සිය ජීවන ගමන නිමා කළා.

දයාරත්න රටගෙදර මහතාගේ "ගුරු ලිසී" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිශ්ට ඔහු "නුඹ විතරක් තළ එළලුයි" නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූවා.

එමෙන්ම "තලමල පිපිලා", "හිට්ලර්", "අඹුසැමියෝ" සහ "ගුරු තරුව" වැනි වේදිකා නාට්‍ය රැසක ම රංගනය කළ හෙතෙම "රන් දොරටුව", "බුමුතුරුණු" සහ "භාග්‍යා" වැනි ටෙලිනාට්‍යයන් හි රංගනය කරමින් පුංචිතිරය ද අතික්‍රමණය කළා.

"විජය ධර්ම ශ්‍රී ගේ "ආරාධනා" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් "හිමගිර" චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබුවා.

ඉන්පසු "අහස් මාළිගා", "මධුරි", "ගිනි අවි සහ ගිනි කෙළි" සහ "සරෝජා" වැනි චිත්‍රපටය කිහිපයක ම රංගනයෙන් දායක වුණා.

සෝමරත්න දිසානායකයන්ගේ "සිරි රජ සිරි" චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, "සිරි පැරකුම්" චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයක්. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනී මහතාගේ "එකගෙයි සොකරි" චිත්‍රපටයේ සම්පත් මහතා කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 13:18