May 12, 2024

මෙරටට එකවර පැමිණි වැඩිම එන්නත් තොගය කාටුනායකට (PHOTOS)

September 05, 2021

ශ්‍රී ලංකාවේ පැතිර ඇති කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා ශ්‍රී ලංකාව විසින්  චීනයෙන් මිළදී ගත් "සයිනොෆාම්" එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් , එකවරම වැඩිම එන්නත් ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ අවස්ථාව බවට පත් කරමින්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට සමත් වී තිබුණා. 

මීට පෙර එක් එන්නත් බදුනක් තුළ එක් එන්නත් මාත්‍රාවක් පමණක් අඩංගු වුවද, මෙවර මෙම ගුවන් යානය තුළ රැගෙන විත් ඇති එන්නත් බදුනක් තුළ, එන්නත් මාත්‍රා 05 බැගින් අඩංගු කර අසුරා ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසුවා.

එනිසා මෙම ගුවන් යානයෙන්, එකවරම මෙම එන්නත් මාත්‍රා 40 ලක්ෂයම රැගෙන ඒමට හැකි වී ඇති බව ද හෙතෙම සදහන් කළා.

ඒ අනුව කිලෝ ග්රැම් 16,192 ක් බරැති මෙම  එන්නත් තොගය , පෙට්ටි 42 ක අසුරා තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන මෙම විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, මෙම එන්නත් තොගය රැගෙන , චීනයේ බෙයිජිං නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (05) අලුයම 12.31 ට ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වූ අතර, එම ගුවන් යානය එදින අලුයම 04.48 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එමෙන්ම එළඹෙන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර රුසියාවේ නිෂ්පාදිත "ස්පුට්නික් - V" එන්නතේ දෙවන මාත්‍රා 120,000 ශ්‍රී ලංකාවට ලබා දීමට, රුසියාවේ ගැමලෙයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසුවා.

එසේම ඇමෙරිකාවේ "ෆයිසර්" එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් මිළදී ගැනීම සදහා ද අවශ්‍ය ගෙවීම් මේ වනවිට සිදු කර අවසන් වී ඇති බව ද, එම එන්නත් තොගය ද එළඹෙන ඔක්තෝබර් මාසය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

(කටුනායක ටී.කේ.ජී.කපිල)

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 16:22