May 10, 2024

පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව බැලූ ස්වාමීන් වහන්සේලා ගැන පැමිණිල්ලක්

September 03, 2021

පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් පැමිණිලි කළ දම්සක් පදනම සංවිධානයේ සභාපති  පස්සරමුල්ලේ දයාවංශ හිමියන්ට එරෙහිව ගරුතර අස්ගිරි මල්වතු මාහිමිපාණන් වහන්සේලා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල යොමුකර තිබෙන්නේ බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසිනි.

මාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ  ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට පත්ව තිබෙන බවයි.

එම ලිපියේ වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙවැනි වීඩියෝ නැරඹීම ස්වාමින් වහන්සේලාට අකැප දෙයක් බවත් එම නිසා මෙවැනි සිදුවීම් හරහා ස්වාමින් වහන්සේලා ද අසභ්‍ය වීඩියෝ නරඹන බවට සමාජය තුළ වැරැදි මතයක් ඇතිවෙන බවයි.

මාහිමිපාණන් වහන්සේලා වෙත බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් යවන ලද සම්පුර්ණ ලිපිය පහතින්,

පහන්තුඩාව රති වීඩියෝව බැලු හිමිනම ගැනත් සොයාබලන්න.

ගරුතර අස්ගිරි මල්වතු මාහිපාණන් වහන්සේලා වෙත,

ගරුතර ස්වාමීන් වහන්ස, පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මේ ලිපිය ලිවීමට නම් උන්වහන්සේ විසින් මේ වීඩියෝව නරඹා තිබිය යුතුය. එසේ නැතුව තමන්වහන්සේ විසින් ඇසින් නුදුටු වීඩියෝවක් අරඹයා යම් කෙනෙක් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීම ද්වේශ සහගත වෙයි.

එමෙන්ම මෙවන් වීඩියෝ සංඝයා වහන්සේලා විසින් නැරඹීම සහ මෙවන් ලෞකික සමාජය විසින් විසඳා ගත යුතු කාරණා අරඹයා ලිපි ලිවීමෙන් අපගේ බුද්ධ ශාසනයට විශාල අපකීර්තියක් මෙන්ම ඒ ගෞරවනීය බව සැහැල්ලුවට ලක්කිරීමක් සිදුවන වග බෞද්ධ අපගේ විශ්වාසයයි.

එබැවින් මේ භික්ෂුන් වහන්සේ මේ වීඩියෝව නැරඹුවාද යන්න පිළිබඳ විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි.

එසේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට සංඝයා වහන්සේලා පෙළඹී සිටීමත්, ඒවා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමත් අප ගෞරවනීය ලෙස සලකා වැඳුම් පිදුම් කරන අනෙකුත් සංඝයා වහන්සේලා කෙරෙහිද බලපාන අවමානයක් වෙයි.

එබැවින් මේ පිළිබඳව සොයා බලා බුද්ධ ශාසනයේ විනය අවධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන මෙන් ඔබවහන්සේලාගෙන් ඉතාම ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු.

බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය

මංජු ශ්‍රී ආරිවංශ

Rate this item
(0 votes)