May 15, 2024

එල්ල වන චෝදනා වලට වෛද්‍ය ප්‍රසන්නගෙන් පිළිතුරු

September 01, 2021

මේ දිනවල බොහෝ දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවලට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පිළිතුරු ලබා දීමක් සිදු කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ මහතා එහිදී මෙසේ ද සඳහන් කළා,

"රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර් කියන පරීක්ෂණය භාවිතා වන්නේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමට. පී.සී.ආර් කියන පරීක්ෂණය පහුගිය අවුරුද්දේ මුල කාලයේ ඉඳලා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වුණා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ආරම්භ වුණේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ලංකාවට මුලින්ම හඳුන්වා දෙන අවස්ථාවේදී ඒ පරීක්ෂණය නියමිත ප්‍රමිතියෙන් යුක්තද කියන එක පරික්ෂා කිරීමට අපේ පර්යේෂණාගාරවල පහසුකම් හා හැකියාව නොතිබුණු බැවින් එවකට සිටිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ තාක්ෂණික කමිටුව විසින් තීන්දුවක් ගත්තා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පමණක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට මිලදී ගත යුතුයි කියලා. එදා ඇති කරගත්ත ඒ ප්‍රමිතිය අද දක්වා පවත්වා ගෙන එනවා. ඊට අමතරව මේ වන විට අපේ ඒ පර්යේෂණාගාර වල මේවා පරික්ෂා කිරීමේ හැකියාව තියෙන නිසා මේ වෙනකොට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වර්ග තුනක් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් මුල අවස්ථාවේ එක කට්ටලයකට තමයි අනුමැතිය ලැබුනේ. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තියෙන කට්ටලයකට. 

මේකේ මිල ගාණ පිළිබඳව තමයි ප්‍රධාන ප්‍රශ්නයක් ඇති කරලා තිබුනේ වැඩි මුදලකට ගේනවා කියලා. දැන් එතැනදී 2000ක් හෝ 2500ක් වැනි මුදලක් ගැන කතා කළා. මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අරන් තියෙන්නේ අපි මුලින්ම රුපියල් 1146කට. ඒක තමයි ටෙන්ඩර් එකේදී අපි ගත්ත මුදල. ඒ වෙනකොට ලියාපදිංචියේ තිබිච්ච රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලය. මේ වන විට අපි පහුගිය ටෙන්ඩර් එකකට අරන් තියෙන්නේ 975කට. රාජ්‍ය ඖෂධ සංස්ථාව වැඩි මුදල් ගෙවලා ගේනවා කියන්නේ ඇයි කියලා ඔබ කල්පනා කරලා බලන්න. රාජ්‍ය ඖෂධ සංස්ථාව නෙවෙයි මේ කුමන එන්නත් කට්ටලය ලබා ගත යුතුද කියලා තීරණය කරන්නේ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිලිබඳ ඉල්ලීමක් වුනහම ඒක යවනවා විද්වත් කමිටුවකට. ඒ අය මේ කට්ටල අරගෙන පර්යේෂණාගාර වලට යවලා ඒ පර්යේෂණාගාර වල 100 ගානේ මිනිස්සු අරගෙන බලලා ඒ අයගෙන් මේ දත්ත නියමිත පරිදි ලැබෙනවා කියලා තහවුරු කරලා තමයි මේ කට්ටලය අනුමත කරන්නේ. අදට පවා ඕනෑම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් වෙළඳපොළට ඒමට කලින් විද්වත් කමිටුවකට ගිහින් ඒ කණ්ඩායමේ අධික්ෂය යටතේ පර්යේෂනාගාරවල පරික්ෂා කරලා තත්වය තහවුරු වුනාට පස්සේ පමණයි අපිට මිලදී ගන්න පුළුවන්. එහෙම තත්වය තහවුරු කරලා තවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල එනවා නම් ඒවා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා."

පී.සී.ආර් 8000ක් ගැන කතා කලාට අපි 2020 මුල කාලයේ අරන් තියෙන්නේ 3026කට පමණ. අද වෙනකොට ඒ මුදල 736 දක්වා අඩු වෙලා තියෙනවා. රජය හැටියට අපි කිසි වෙලාවක අපි මේ විදියට වියදම් කරලා නැති බව පැහැදිලිව හා වගකීමෙන් කියනවා. දැනට මේ පී.සී.ආර් සඳහා ආයතන 8ක් 9ක් ඊටත් වඩා වැඩි ප්‍රමානයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ ලියාපදිංචිය ලබා ගත් අය අපේ ප්‍රසම්පාදනයට ඉල්ලුම් කරලා තියෙනවා. අපි ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නැවත වරක් තාක්ෂණික ඇගයීමක් කරන්න යවලා අනුමත කිරීමෙන් පසුව තමයි අපිට ලැබෙන්නේ."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 17:12