May 20, 2024

මෙරට විශාලතම සෙල්ලිපිය ඇතුළු නටබුන් රැසක් කැලෑවට යටවෙලා (PHOTOS)

"වරදකරුවෙකුට දඬුවම් කිරීමට නොහැකියි" අභයදානය දුන් ඓතිහාසික ස්ථානය මෙන්ම මෙරට විශාලතම සෙල්ලිපිය සහ අක්ෂර වෙනස් සෙල් ලිපිය සහිත වූ අපේ උරුමය කියා පාන ඓතිහාසික ගැරඬිගල පූජනීය ස්ථාන රැසක් මේ වන විට මහ වනයට යට වී විනාශ වීමේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙනවා.

වීශාල භූමි ප්‍රමාණයක පිහිටා ඇති ගැරඬිගල ඓතිහාසික පූජාභූමි බලප්‍රදේශය යම් මට්ටමකින් හෝ ආරක්ෂා වී සංවර්ධනය වෙමින් පවතින්නේ එහි භික්ෂූන් වහන්සේලා වැඩසිටින ගැරඬිගල රජමහා විහාරස්ථානය පිහිටි කොටස පමණයි.

මීට පෙර බොහෝ දෙනෙකු අසා හෝ දැක නැති මෙම ඓතිහාසික වශයෙන් වැදගත් මෙරට අතීතයේ "අජර ගිරි " විහාරය හෙවත් මෙරට මහා සංඝරත්නය වෙනුවෙන් ආහාරපාන නිෂ්පාදනය කළ භූමියක් ලෙස සැලකෙන ස්ථානය සොයා පුන් පොහෝ දා අප එහි ගියා.

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වෙද්දී  ගලේවෙල නගරය පසුකොට කිලෝමීටර් කිහිපයක් දඹුල්ල දෙසට ගමන් කරද්දී මෙෙම ඓතිහාසික ගැරඬිගල රජමහා විහාරය තොලබුගොල්ල ප්‍රදේශයේ දී හමුවෙනවා.

විශාල වශයෙන් ගැරඬියන් ඉඳලා

මෙහි කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලා මෙන්ම බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනවා. මේ වන විට එහි විහාරාධිපති වහන්සේ ලෙස කටයුතු කරන්නේ සද්ධර්ම කීර්ති ශ්‍රී මිල්ලවානේ චන්ද්‍රවිමල නා හිමියන්.

මෙම ඓතිහාසික ගැරඬිගල රජමහා විහාරය පිළිබඳව එහි පූජා භූමියේ ඇති ඓතිහාසිකත්වය පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ මෙම ස්ථානයට ගැරඬිගල ලෙස නම්කොට ඇත්තේ මෙහි විශාල වශයෙන් ගැරඬියන් සිටි බව කියවීම් මෙන්ම ඈත ප්‍රදේශයක සිට මෙම කඳු ගීර ගැරඬියෙකු සේ දිස් වීම බවයි.

ඉතිහාසයේ මෙම ස්ථානය අජර ගිරි නමින් හැඳින්වීම බවත් අජර යන නාමයෙන් හැඳින්වෙන්නේ පාලි භාෂාවෙන් ගැරඩි යන නාමය බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

මෙරට විශාලතම සෙල්ලිපිය

මෙම ස්ථානය අති විශාල භූමියක පිහිටා තිබෙන බවත් දැන්ට මෙරට විශාලතම සෙල්ලිපිය මෙම පූජා භූමියේ මහා වනමැද පවතින බවය. මෙම ස්ථානයේ දැනට මහාචාර්ය සෙනරත් දිසානායකයන් විසින් කියවූ සෙල්ලිපි දෙකක් පවතින බවත් මෙරට සෙල්ලිපි භාෂාව වෙනස් වන අවස්ථාවක් දැකිය හැකි බවද උන්වහන්සේ සඳහන් කළා.

එමෙන්ම මෙම ගැරඬිගල පූජා භූමිය තුන්වන කාශ්‍යප රජු සමයේ ආරම්භ වූ ස්ථානයක් බව ද මෙහි භික්ෂූන් වහන්සේලා උදෙසා කුඹුරු පූජා කළ බවටත් ආහාර නිෂ්පාදනය කළ බවත් සෙල්ලිපිවල සඳහන් වෙද්දි විවිධ වැරදි කරපු පුද්ගලයන්ට රජු දඬුවම් නියම කරද්දී මෙම පූජා භූමියට පැමිණි අයෙකුට රජුට දඬුවම් කිරීමේ අයිතිය අහිමි වීමේ අභයදානය දීමේ ස්ථානයක් ලෙස සෙල්ලිපියේ හඳුන්වා දී ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

නටබුන් රැසක් වනයට යට වෙලා

එමෙන්ම මහ වන මැද මැද ගල් ඇඳන් රැසක් මෙන්ම ඓතිහාසික නටබුන් රැසක් පවතින බවද උන්වහන්සේ පෙන්වා දුන් අතර එම ස්ථාන වලට ගමන් කිරීමට හෝ නොහැකි තත්ත්වයකින් මහ වනයට යට වී තිබෙනවා.

මෙම ඓතිහාසික ස්ථාන අඩුම තරමේ මෙරට ජනයාට දැක ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සහ විවිධ ආක්‍රමණ ශීල මිනිසුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ආදී සිදුවිය යුතු යැයි උන්වහන්සේ පැවසුවා.

 

Rate this item
(0 votes)