May 16, 2024

මගී බස් සේවා සාමාන්‍ය පරිදි වැඩ - ජනතාවගෙන් ඉල්ලීමක්

අද (09) සිට ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

එම නිසා සේවක සේවිකාවන් ද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව ඔහු සඳහන් කළා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ඒ මහතා,

"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි. පසුගිය දිනවල නිකුත් කළ චක්‍රලේඛයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව අපට පැහැදිලිවම දැනුම්දීලා තියෙනවා. ඒ අනුව ගමනාගමන මණ්ඩලයේ සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතුයි. අපේ බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරලා තියෙනවා. රාජ්‍ය ආයතනවල සේවකයින් සියයට 50ක් පමණ අඩු කරන්න රජය කටයුතු කරලා තියෙන්නේ බස්රථවල හා සේවා ස්ථානවල ඇතිවෙන තදබදය තුළින් මෙම කොවිඩ් වෛරසය පැතිරීම අවම කිරීමට. කිසියම් ආකාරයකට මහජනතාව මාර්ගවලට අවතීර්ණ වෙනවා නම් ඒ අයට සෞඛ්‍ය පුරුදු නිසිපරිදි පවත්වා ගෙන යෑමට සහ සමාජ දුරස්ථභාවය නිසිපිරිදි පවත්වාගෙන යෑමට හැකිවන පරිදි බස්රථ අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ධාවනය යොදවන ලෙස අපිට සෞඛ්‍ය අංශ අපට උපදෙස් ලබාදෙනවා."

මේ අතර, බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රට තුළ පවතින කොවීඩ් ව්‍යසන තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කරුණක් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවත් ඔහු පැවසුවා.

තදබදය අවම කිරීම සදහා මේ සතියේ සිට වැඩි බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසුවා.

නිරෝධායන නීතිවලට යටත්ව සියලුම මගී ප්‍රවාහන බස් රථ වල මගින් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් බස් රථ හිමියන්ට සහ රියැදුරු කොන්දොස්තර වරුන්ට දැනුම් දී ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළා.

දුර ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර රාජ්‍ය සේවකයන් ආයතනයේ ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවයට කැඳවීම සිදු කරනු ලබනවා.

Rate this item
(0 votes)