May 16, 2024

බෝගම්බර සිරගෙදර සටන ඇරඹේ: කඩන්න ආවොත් වෙන දේ විදුර, කෙහෙළියට කියයි

මහනුවර බෝගම්බර සිරගෙදර මුල් කොටගෙන ආණ්ඩුව තුළ අවුලක් ඇති වී තිබෙනවා.

ඒ අවුල ඇති වී තිබෙන්නේ ජාතික උරුමයන් පිළිබඳ ඇමති විදුර වික්‍රමනායක සහ මහනුවර දිස්ත්‍රික්කය මුල් කොටගත් අමාත්‍යවරයෙකු හා රාජ්‍ය අමාත්‍යවරයෙකු සමඟයි.

ඇමතිගේ මතය

බෝගම්බර හිරගෙදර කඩා දමා ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථානයක් බවට පත් කිරීම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ මෙන්ම ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී තිබෙනවා.

මේ දෙදෙනාගෙනුත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඒ සඳහා විශේෂ උනන්දුවක් දක්වන අතර ඔහු සඳහන් කරන්නේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය මහනුවර වන බවයි.

ඒ වටිනාකම තවත් වැඩි දියුණු කිරීමට බෝගම්බර සිරගෙදර භූමි ප්‍රයෝජනවත් බව සඳහන් කරන අමාත්‍යවරයා ඒ සියල්ල කරන්නේ දළදා මාළිගාවේ සහ අස්ගිරි - මල්වතු නාහිමියන්ගේ උපදෙස් මත බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සුද්දා හදපු දේවල් කෞතුක වස්තුද

සුද්දා හදපු දේවල් මහ ලොකු කෞතුක වස්තූන් ලෙස තමන් සලකන්නේ නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පිට දේශක්කාරයින්  හදපු දේවල් කෞතුක වස්තූන් වන්නේ කෙසේදැයි යන්නත් අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස

එහෙත් මහනුවර නගරයට ඉතා ආසන්නයේ පිහිටි බෝගම්බර බන්ධනාගාර භූමිය ඒ ආකාරයෙන්ම රැකගනිමින් එම ස්ථානයේ සංස්කෘතික කලාගාරයක් ඇති කිරීමටයි කලා හා ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී තිබෙන්නේ.

ඒ හැරුණු කොට එහි එක් ප්‍රදේශයක් තරු හතේ අවන්හලක් ලෙස සංවර්ධනය කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

බෝගම්බර සිර ගෙදර ජාතික වීරයන් හිටපු ජාතික නායකයන් සිරගත කරපු ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් බැවින් එය කඩා බිඳ නොදැමිය යුතු බවයි විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නාගරික සංවර්ධන අධිකාරියට නගර සංවර්ධනයට අයිතියක් තිබුණද එය කළ යුත්තේ ජාතික වටිනාකමක් ඇති දේවල් ආරක්ෂා කර ගනිමින් බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා බෝගම්බර හිරගෙදර කඩ නොදමා සිය අමාත්‍යාංශය යටතේ වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කරන්නේ.

තිස්ස වැවට වුන දේ මතකද

ඒ නිසා බෝගම්බර හිරගෙදර කඩා දැමීමට ඉඩ දෙන්නෙ නැති බවට තමා අධිකරණ ඇමතිවරයාව පවා දැනුවත් කළ බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අවසර නැතිව තිස්ස වැවේ රොන්මඩ ඉවත් කරන්න ගොස් අන්තිමට එය නතර කිරීමට සිදු වූ සිද්ධිය මතක් කර දෙන වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා බෝගම්බර හිරගෙදර කැඩීමට ගියහොත් සිදුවන්නේත් ඒ ටිකම බව එය කඩා බිඳ දැමීමට බලාපොරොත්තු වන අයට මතක් කර දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 July 2021 21:24