April 26, 2024

විසඳුම් නැහැ - ගුරු වර්ජනය තවදුරටත්

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කල වර්ජනය අඛණ්ඩව 18 වන දිනටත් ක්‍රියාත්මක බව ගුරු සංගම් සඳහන් කරනවා.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කලේ අනවශ්‍ය මහජන ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ පොලිසිය වෙත ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. 

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක‍්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසනවා.

අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ජාවෙන් පසු ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා දෙන බව මාධ්‍යයට අගමැති කාර්යාලය විසින් ප‍්‍රකාශ කර තිබුණත් එවැනි විසඳුමක් දීමක් ගැන පැවැති සාකච්ජාවේදී එකඟ නොවූ බවද ඒ මහතා පැවසුවා.

ගුරු විදුහල්පති ගැටලූ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත් කර ඇතැයි ද ඔවුන් සමග සාකච්ජා කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇතත් එවැනි කමිටුවක් පිළිබඳව වෘත්තීය සමිති කිසිවක් නොදන්නා බව ද ඒ මහතා පවසනවා.

අඩුම තරමින් එම කමිටුවේ සභාපති හෝ සාමාජිකයන්වත් නොදන්නා බැවින් කවුරුන් සමග සාකච්ජා කරන්න ද යන්න පැහැදිලි නැතැයි ද ඒ මහතා පවසනවා.

දිගින් දිගටම රජය විසින් ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා නොදී කල් මැරීම තුළින් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී සිටින වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යමින් වෘත්තීය අරගලය දැඩි කිරීමට වෘත්තීය සමිති තීරණය කළ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)