April 26, 2024

ලංකා වාණිජ මණ්ඩලයෙන් ජනපතිට සුභවාදී පණිවිඩයක්

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ, කොවිඩ් වසංගතය බාධාවක් කර නොගෙන ජනාධිපතිවරයා රට තුළ ක්‍රියාත්මක කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. එය ඉවහල් කරගනිමින් ආර්ථිකය නඟාසිටුවීමේ වේගවත් වැඩපිළිවෙළකට තමන්ට දායක විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙනවා.

ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමග පැවති හමුවේ දී මේ බව සඳහන් කර තිබෙනවා.

1839 වසරේ දී ආරම්භ කර ඇති ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සාමාජික සමාගම් සංඛ්‍යාව 560කි. දිවයිනේ සියලු පළාත් ආවරණය කෙරෙන පරිදි කලාපීය වාණිජ මණ්ඩල සමූහය ව්‍යාප්ත ව තිබෙනවා.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැගෙන ඒමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළි‍වෙළ නව නිලධාරී මණ්ඩලය පැසසුමට ලක් කර තිබෙනවා. මාර්ග පද්ධතිය ප්‍රමුඛව යටිතල පහසුකම් වේගවත්ව සංවර්ධනයට ලක් කර තිබෙන බවත් එහි ප්‍රතිලාභ ඉදිරි කෙටි කාලය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා.

ආයෝජකයෝ අධෛර්යමත්

බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දෙනවා.

පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙළ, වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති කමිටුවල විශේෂ සැලකිල්ලට ගෙන ඇති බව ද නිලධාරීන් විසින් සඳහන් කර තිබෙනවා.  

ක්‍රියාත්මක ඇතැම් නීති - රීති හේතුවෙන් ආයෝජකයෝ අධෛර්යමත්ව සිටින බවත් එවැනි බාධක ඉවත් කිරීමටත් ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බවත්, තරුණ පරපුර නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)

Related items