April 26, 2024

වයස අවුරුදු 18ට අඩු අයට තහනමක් - පොලිසියෙනුත් නිවේදනයක්

මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන්ගේ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 433 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

යම් පුද්ගලයෙකු ‍සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමිමට අදාල නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අවම වැටුප් පනතට ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුලත් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියා.

එම ගෘහ සේවක සේවිකාවන් ආවරණය වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත් සංශෝධනය කිරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම යම් නිවසක ගෘහ සේවකයෙක් සේවයේ යොදවන්නේ නම් ඒ පිලිබද තොරතුරු සේවායෝජකයා දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ ලියාදිංචි කළ යුතු බවට ද නීතියක් පනවන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසුවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කම්කරු අමාත්‍යාංශයේ අද පැවැති ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමක දීය.

කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 10:47