April 26, 2024

බන්ධනාගාර පොකුර තවත් ඉහළට

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසනවා.

නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 51 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසනවා. 

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන රිමාන්ඩ් සිරකරුවන් නිරෝධායනය සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන එනු ලබනවා.

බුස්ස බන්ධනාගාරයේ සිටින කොවිඩ් ආසාදිත රැදිවියන් රැගෙන යාම සදහා ස්ථානයක් නොමැතිවිම නිසා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය සදහා  නිරෝධායනයට යොමු කරන රැදවියන් භාර ගැනිම තාවකාලිකව නතරකොට තිබෙනවා.

බන්ධනාගාරවල ඇති වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන කොවිඩ් ආසාදිත රැදවියන්ගෙන් පිරි යාම මෙම තත්වයට හේතු වි ඇති බවද පැවසෙනවා.

බුස්ස බන්ධනාරයේ සිටින ආසාදිත රැදවියන් සියලුදෙනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයකට රැගෙන යන තෙක් බුස්ස බන්ධනාගාරයට නිරෝධායනය සදහා රැදවියන් භාර ගැනිමට නොහැකි වි ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

Rate this item
(0 votes)