May 15, 2024

කලා සහ බළලු වැවත් විනාශයි - අලි 350ක් අනතුරේ (PHOTOS)

ජපන් ජබර ආක්‍රමණශීලී ශාක නිසා කලා සහ බළලු වැවේ වන අලින්ට උග්‍ර ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුව එහි සුන්දරත්වයට මෙන්ම එහි සිටි පක්ෂි විශේෂ රැසකටද හානි සිදුවී ඇතැයි ජනතාව පවසනවා.

වෙනදා අලි ඇතුන් ගහණව පවතින කලා වැව වෙනත් වසර වලදී මෙවැනි මාසවල ඉතා අලංකාරව දසුන් මවන සුන්දර ප්‍රදේශයක්.

මේ දිනවල කලා වැවේ තත්ත්වය සොයා බැලීම් සඳහා එහි සුන්දරත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අප කලා වැවට ගියා.

වෙනදා කලා සහ බළලු වැව් ඉස්මත්තේ අලි ඇතුන් 350ක් පමණ විශාල පිරිසක් වැව්තාවුල්ලේ ඇති බෙරු තණ ආහාරයට ගන්නා දසුන් මෙන්ම කුරුල්ලන් විශාල පිරිසක් දැක ගැනීමට හැකි වී තිබුණු බව ජනතාව මෙන්ම ප්‍රදේශවාසීහු පවසනවා.

එහෙත් මේ දිනවල වන අලින් තිස් පහක්, හතළිහක් අතර රංචුවලට කැඩී කලා වැවේ මෙන්ම බළලු වැවෙත් තැන තැන ස්ථානගත වී ආහාර සොයමින් යන බව ජනතාව පෙන්වා දෙනවා.

ඒ අනුව අප බළලු වැව ප්‍රදේශයේ වන අලින් සමග නිතර ජීවත්වෙන වන අලින්ට ආදරය කරන අලි ඇතුන් හට කරදරයක් වූ විට කඩිනමින් වනජීවී නිලධාරීන්ව දැනුවත් කරන ප්‍රදේශයේ පදිංචි අයි .ජී. කුමාර නොහොත් "අලි කුමාර" සමඟ ඔරුවක නැග මෙම වන අලින් සහ ඇතුන් මෙන්ම කලා සහ බළලු වැවට සිදු වී ඇති විනාශය සොයා ගියා.

කිලෝමීටර් ගණනාවක් කුඩා ඔරුවක නැගී කලා සහ බළලු වැවේ සොයා බැලීමේදී වෙනදා මෙන් පක්ෂින් රැසක් අපට දැක ගැනීමට නොහැකි වුණා. 40ක් 50ක් පමණ අලි ඇතුන් රංචු කිහිපයක් දැක ගැනීමට හැකි වුණා. ඔවුන් ආහාරයට ප්‍රිය කරන බෙරු තණ කලා සහ බළලු වැව ඉස්මත්තේ දැක ගැනීමට ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක්. ආක්‍රමණශීලී ජපන් ජබරවලින් වැව ඉස්මත්ත වැසී ගොස් ඇති අයුරු අලි කුමාර් මහතා අපට පෙන්වුවා.

මේ හේතුව නිසා වන අලින් මහා විශාල ගස්වල අතු කඩා ආහාරයට ගන්නා දසුන් ද අපට දැක ගැනීමට හැකි වුණා. ඉතිරි වී ඇති ඉතා සීමිත බෙරු තණ ප්‍රමාණය මධ්‍යම හා කුඩා පැටවුන්ගේ ආහාර බවට පත්කර ගන්නා දසුන් ද කලා වැව ඉස්මත්තේ දී අපට දැක ගැනීමට හැකි වුණා.

අලි කුමාර නමින් ආදරේට බොහෝ දෙනා හඳුන්න අයි.ජි.කුමාර මහතා අප සමග කියා සිටියේ කලා සහ බළලු වැවේ ජපන් ජබර පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද පලක් නොවන බවයි. වන අලින් මේ හේතුව නිසා ගම්වැදීම සිදු වෙන බවත් එයින් වන අලින්ට මෙන්ම ජනතාවටද ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදු වන බවත් ඔහු පෙන්වා දුන්නා.

ජපන් ජබර ආක්‍රමණශීලී ශාකය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් එම ශාකය වැව් තාවුලු සියල්ල වසා ගෙන තිබීම නිසා කුරුල්ලන්ට පවා ආහාර නොමැති බවත් සඳහන් කළා.

එමෙන්ම කලා වැවේ සිටි බොහෝ අනෙකුත් ගව රංචු ද මේ දිනවල කලා වැවෙන් ඉවත්ව ගොස් ඇති බව හෙතෙම සඳහන් කළා.

කඩිනමින් මෙම ආක්‍රමණශීලී ජපන් ජබර ශාකය කලා වැවෙන් ඉවත් නොකළහොත් ඉදිරියේ දී අලි මිනිස් ගැටුමට අතවැනීමක් සිදු වන බවද පෙන්වා දුන්නා.

වෙනදා මෙම කලා සහ බළලු වැවේ නම් රැසකින් ප්‍රසිද්ධ ඇතුන් රැසක් සිටි බවත් එම ඇතුන් ද මේ වන විට කලා වැවේ දැක ගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකින් බව කුමාර අප සමග වැඩිදුරටත් පැවසුවා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 July 2021 17:44