May 19, 2024

ඇසූ ප්‍රශ්නයට උරණ වූ මගීන් දෙදෙනෙකු දුම්රිය නියාමකට පහර දීලා

මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළු වීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට ඔවුන් දෙදෙනා පහරදීමක් සිදුකර තිබෙනවා.

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී එම සිද්ධිය ඇතිව තිබෙනවා.

පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 21 සහ 24 වයස්වල පසුවන්නන් බව සඳහන් වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අදහස් දැක්වුවා.

"ඊයේ වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් උදෑසන කාලයේ දෙහිවල දුම්රිය ස්ථානයේ නවත්වනු ලබන අවස්ථාවේ එම දුම්රියට මුහුණු ආවරණ නොමැතිව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගොඩවීමට උත්සාහ කර තිබෙනවා. ඒ අවස්ථාවේදී දුම්රිය නියාමකවරයා විසින් ඔවුන්ට මුහුණු ආවරණ පැළඳ ගන්නා ලෙස උපදෙස් දී ඇති අවස්ථාවේදී අදාළ පුද්ගලයින් දෙදෙනා විසින් දුම්රිය නියාමකවරයාට පහර දීමක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා. මෙයින් තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. ඊට අමතරව දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද දෙහිවල පොලිස්ථානයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයින් දෙදෙනා හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 24 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 July 2021 11:50