May 18, 2024

ඔන්ලයින් ක්ලාස් නවතී! අද සිට ගුරුවරු වර්ජනයේ

පාර්ලිමේන්තුව වටරවුමේ දී පසුගිය (08) වැනිදා පැවැති කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි විරෝධතාවයේ දී ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අත්අඩංගුවට ගැනුනා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොස්ප් ස්ටාලීන් ඇතුළු 16 දෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවීමටද කටයුතු කර තිබුණා.

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වීඩියෝවක් හරහා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොස්ප් ස්ටාලීන් විසින් අදහස් ප්‍රකාශ කර සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබියදී බලහත්කාරයෙන් ඔසවාගෙන ගොස් බස් රථයක දමා රැගෙනවිත් නිරෝධායනය කර තිබෙන බවයි.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස උල්ලංඝනය කිරීමක් බවද ඔහු සඳහන් කර සිටියා.

තම වෘත්තීය සමිති නියෝජිතයන් අනීතිකව අත්අඩංගුවට ගැනීම සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, නිදහස් අධ්‍යපානයේ අයිතිය කප්පාදු කිරීම, වැටුප් විෂමතා ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් අද (12) සිට ඔන්ලයින් ක්‍රමයට සිදුකරන ඉගැන්වීම්වලින් ඉවත් වීමට තීරණය කළ බව ගුරු සංගම් විසින් ඊයේ (11) දිනයේ ප්‍රකාශයට පත් කළා.

මෙම වර්ජනය සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එකතුව ඇති බවත් වාර්තා සඳහන්.

ඒ අනුව වර්ජනය පවතින කාලය තුළදී ඔන්ලයින් ක්‍රමයට සිදුකරනු ලබන ස්වේඡා අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත් වීම සහ ඔන්ලයින් ක්‍රමයට උසස් පෙළ අයදුම් පත් ඉදිරිපත් කිරීමෙන් ඉවත් වීමට නියමිතයි.

Rate this item
(0 votes)