May 19, 2024

නිරෝධායන නීති කඩමින් උද්ඝෝෂණය කළ 12ක් අත්අඩංගුවේ

රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ රැකියා ලබාදුන් සේවකයන් පිරිසක් අනුරාධපුර මහ නගර සභාවට අනියුක්ත කිරීමට විරෝධය පාමින් නීරෝධායන නීති කඩ කරමින් උතුරු මැද පළාත් සභාවට අයුතු අන්දමින් ඇතුළුවූ ආණ්ඩුකාර කාර්යාලය වැටලීමට උත්සහ කළ නගර සභා සේවකයන් 12ක් අද (01) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

නගර සභාවේ සේවකයන් විශාල පිරිසක් අද (1) දෙවන දිනටත් නගර සභා පරිශ්‍රයේ කළු කොඩි ඔසවා මෛත්‍රීපාල සේනානායක ප්‍රධාන මාර්ගය නගර සභාව ඉදිරිපිටින් හරස් කර විරෝධය පලකර පසුව ආණ්ඩුකාරවරයා හමුවීමට උතුරු මැද පළාත් සභාවට සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණියා.

එසේ පැමිණි විරෝධතාකරුවන්ට පළාත් සභා පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොදෙමින් ඇතුළුවීමේ පිවිසුම හා පිටවීමේ ගේට්ටුව පළාත් සභා ආරක්ෂක අංශය විසින් වසාදමා තිබුණා.

විරෝධතාකරුවන් පිරිසක් ඒ අවස්ථාවේ පළාත් සභා ගොඩනැල්ල පිහිටි පරිශ්‍රයට පිවිසුම් දොරටුට උඩින් පැන ඇතුළු වී ආණ්ඩුකාර කාර්යාලය වැටලීමට පියවර ගත්තා.

අනුරාධපුර මහ නගර සභාවේ දස වසරකට ආසන්න කාලයක් සේවයේ නිරත සේවකයන් 180 කට වැඩි පිරිසක් නගර සභාව තුළ සිටියදී එම වෘත්තියන්ටම ස්ථිර පත්වීම් ලබාදී පිරිසක් අනියුක්ත කිරීමට විරෝධය පළකරමින් ඊයේ (30) සිට සේවකයන් වැඩවර්ජනය කරමින් විරෝධතාවක නිරතවී සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 July 2021 16:01