April 27, 2024

"මටත් පුදුමයි මේ වැඩේට" - ඔන්ලයින් ඕන දරුවන්ට: බේබද්දන්ට නෙමෙයි

ඔන්ලයින් පහසුකම් නැතුව ගස් උඩ නගින දරුවන්ට එම පහසුකම ලබා දෙන්න හදද්දි තවත් පිරිසක් ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව තමා පුදුම වන බව ජනපතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

ජනපතිවරයා එසේ ප්‍රකාශ කොට තිබෙන්නේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අමතාය.

කාගෙද මේ යෝජනා

ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමේ යෝජනාව කාගේ යෝජනාවක් දැයි ජනපතිවරයා කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කොට තිබෙන්නේ එම යෝජනාව සුරාබදු ජනරාල්වරයාගේ යෝජනාවක් බවය.

ජනපතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කොට තිබෙන්නේ ඒ අවස්ථාවේය.

යෝජනාව හා අනුමැතිය දුන් ආයතන

දැනගන්නට තිබෙන ආකාරයට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමුකොට තිබෙන අතර මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය ඊට හිමිව තිබෙනවා.

එහෙත් එය ක්‍රියාත්මක කිරීමට කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේද අනුමැතිය අවශ්‍යව තිබෙන බැවින් ජනපතිවරයා , යුද හමුදාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කර තිබෙන්නේ ඒ හේතුවෙන්.

කෙසේ වෙතත් ජනපතිවරයා ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව අවලංගු කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 June 2021 07:16

Related items