May 18, 2024

නායකත්වය ගන්න මම සූදානම් - ඇමැති පවිත්‍රා කියයි

බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය අද (16) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වී තිබෙනවා.

මේ සදහා අනෙකුත් අමාත්‍යංශ හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් ඊට අදාල නිලධාරින් Zoom තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී බෝ නොවන රෝග පාලනයට පසුගිය වසර කිහිපය තුල සිදු කළ හා දැනට සිදු කෙරන ක්‍රියාකාරකම් සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කර තිබෙනවා. හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැළසුම සකස් කිරීම හා ඊට අදාළ සමාලෝචනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිච් මහත්මිය විසින් සිදු කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන ලෙසත්, එම සේවාවන් කාර්යක්ෂම සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මරණ වලින් 83%ක් බෝනොවන රෝග වලින්

මෙරට සිදුවන මරණ වලින් 83 % ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු  රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බවත් අමාත්‍යවරිය එහිදී අවධාරණය කර තිබෙනවා.

මෙම බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය 2017 වසරේ දී පිහිටුවා ඇති අතර, මාස 06 කට වරක් රැස් වී බෝනොවන රෝග පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සමාලෝචනයක නිරත වනවා. මෙහි සභාපතිධූරය දරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන අතර උපදේශකත්වය බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය විසින් දරනු ලබයි.

Rate this item
(0 votes)