May 20, 2024

කෝටි 350 වාහන තොගය ගැන විපක්ෂයේ අපි කිසිවක් දන්නේ නැහැ - සමගි ජන බලවේගය

රු.කෝටි 350ක (රු.ලක්ෂ 35,000) මුදලක් වැය කරමින් ආනයනය කිරීමට සූදානම් වූ V - 8 ප්‍රාඩෝ වර්ගයේ අපි සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කිසිවකු කිසිවක් නොදන්නා බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා හෙළිදරව් කරයි.

එම වාහන තොගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ගෙන එන බව පාර්ලිමේන්තුවේ හෝ ආණ්ඩුවේ වගකිවයුතු කිසිවකු සිය පාර්ශ්වයට දැනුම් දීමක් කොට නොමැති බවද අත්තනායක මහතා එළිදරව් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අත්තනායක මහතා රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාගේ පාලන කාලයේදී ක්ෂය වීමේ පදනම මත මන්ත්‍රීවරුන්ට වාහන ලබාදුන් බවත් මන්ත්‍රී ධූරය අවසන් වන විට ඒ වන විට තිබෙන තක්සේරු මුදල දී අදාල වාහනය මන්ත්‍රීවරයාට පෞද්ගලිකව ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබූ බවද අවධාරණය කරයි.

සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා මේ අදහස් පළ කළේ මතභේදයට තුඩු දී තිබෙන වාහන ආනයන ගනුදෙනුව  සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි. 

මේ වන විට හෙළිදරව් වී තිබෙන අදාල වාහන ගෙන්වා මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ නම් ඉන් හැඟී යන්නේ එය ප්‍රේමදාස ජනපති කාලයේ මෙන් ක්ෂය වීමේ පදනම මත ලබාදෙනු ඇති බව බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් සඳහා මෙවැනි ඇණවුමක් කරන්නේ නම් අදාළ මන්ත්‍රීවරුන්ගෙන් වාහනයේ පාට , අලුතින් එක් කළ යුතු පහසුකම් පිළිබඳ විමසීමක් කරන බවත් මෙවර එවැනි කිසිදු විමසීමක් සමගි ජන ජන බලවේගය පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකු නොකළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත වාහනයට යම් අලුත්  පහසුකමක් එක් කරන්නේ නම් ඒ සඳහා යන මුදල මන්ත්‍රීවරයා විසින් සිය පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවද මන්ත්‍රීවරයා මහතා පෙන්වා දෙයි.

අදාල වාහන තොගය සඳහා මේ වන විට ණයවර ලිපි නිකුත් කොට ඇත්නම් එය අවලංගු කිරීමට යාමෙන් ඒ සඳහා විශාල වන්දියක් ටොයොටා සමාගම වෙත ගෙවීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අදාළ ගනුදෙනුව තාවකාලිකව නතර කළ බවට රජය කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 May 2021 12:28