May 14, 2024

වසංගතය අස්සේ නැවතත් මව්බිම විකුණගෙන කන්න එපා - එරන්දගෙන් සැර කතාවක්

කොරෝනා වසංගතයෙන් සමස්ත මාතෘභූමිය වෙලාගෙන තිබෙන ඉතාමත් තීරණාත්මක මොහොතක මව්බිම විකුණාගෙන කෑමට ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව විසින් දරණ උත්සාහය සම්බන්ධයෙන් මෙම ආණ්ඩුව ගොඩ නැගිමට දායක වූ අයෙක් ලෙස තමා කම්පාවට පත්වන බව එරන්ද ගිනිගේ මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුව හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරන එරන්ද ගිනිගේ මව්බිමේ කොටසක් විදේශිකයන් හට ලියා දි අනාගත පරපුරේ උරුමය ජනාධිපතිවරයා විසින් අහිමි කර දී මහා අපරාධයක් සිදුකර ඇතැයි පවසයි.

එම සම්පුර්ණ ලිපිය පහතින්,

ගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලියමි,

මවිසින් ඔබේ නමට ලියන අවසාන ලිපිය මෙයයි. මෙය මා සැබැවින්ම ලියන්නේ මාගේ හෘදය සාක්ෂිය වෙනුවෙනි. කොරෝනා වසංගතය උත්සන්න වී ඇති මේ මොහොතේ ඒ ගැන මට කියන්නට ඇත්තේ ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ට මා ස්තුතිවන්ත වන බව පමණී. මේ ලියන්නේ ඒ වසංගතය අස්සේ නැවතත් මව්බිම විකුණගෙන කන්නට ඔබේ ආණ්ඩුව විසින් දරන අලජ්ජී අඥාන අධාර්මික තැත ගැනය.

“රටේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය කිසිම කොන්දේසියක් මත පාවා නොදෙන, භූමිය හෝ රාජ්‍ය ව්‍යවසායයන් විදේශිකයන් අතට පත් නොකරන සහ රටට අහිතකර ගිවිසුම් අත්සන් නොතබන ප්‍රතිපත්තිය අප ආරක්ෂා කරන්නෙමු. ඒ වෙනුවට අප ලොව සියලු රටවල් සමාන මිතුරන් සේ සලකා ක්‍රියා කරන ‘සමමිත්‍ර විදේශ ප්‍රතිපත්තියක්’ අනුගමනය කිරීමට කැප වෙමු.” (ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම) ඉහත දැක්වෙන්නේ 2019 ජනපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දස වැදෑරුම් ප්‍රතිපත්ති අතර දෙවැන්නයි. ඊනියා වරාය නගර පනත සහ එහි සමස්ත ක්‍රියාදාමය ඔබේ ඉහත ප්‍රතිපත්තියට විරුද්ධය.

ශ්‍රී ලංකා ජනරජයේ භූමිය යනු ගොඩබිම පමණක් නොවේ. ජලයෙන් යටව ඇති සමුද්‍ර කලාපයත් අපගේ භූමියයි. වතුරට යටින් භූමිය ඇත. ඇතැම් වෙරළ ඛාදනය වේ. ඇතැම් වෙරළ ගොඩ වේ. එකම වෙනස භූමියේ උස අඩු වැඩි වීම පමණී. එය අපේ භූමියයි. අපේ මාතෘ භූමියයි. අපේ මව්බිමයි. අමාමෑණී බුදුරජාණන්වහන්සේගේ සිරිපා වැඳ පහළට ඇදෙන කැළණි ගංගා දියේ දියවී එන ලක්පොළොවේ සාරය තැන්පත් වූ කොළඹ මුහුද අපේ මව්බිමයි. ආක්‍රමණික පෘතුගීසීන්ගේ වෙඩි පහරින් එදා මුල්ලේරියා සටන්වල දිවිපිදු අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය කැළණි ගංගා දියේ දියවී පැමිණ මිහිදන්වූ කොළඹ මුහුද අපේ මව්බිමයි. ආක්‍රමණික චීනුන්ට ගොඩකරන්නට ඔබලා දුන්නේ අපේ මව්බිමයි. කෑලි කෑලි වලට කඩා විදේශිකයන් අතට පත් කරන්නට ඔබ ඔය හදන්නේ අපේ මව්බිමයි! රුවන්වැලිසෑය ඉදිරිපිට ඔබ දිවුරා දුන් පොරොන්දුවට එය විරුද්ධයි!

අපේම මව්බිම ගොඩ කිරීම වෙනුවෙන් අප දැනටමත් විශාල වන්දියක් ගෙවා ඇත. එනම් එය ගොඩකළ විදේශිකයන්ට අපේ මව්බිමේ කොටසක් ගිවිසුමකින් ලියා දී ඇත. ඒ වනාහී මේ මව්බිමේ ඉපදෙන අනාගත පරපුරට ඔබ අහිමි කළ උරුමයයි. එයින් නොනවතින ඔබ දැන් හදන්නේ මතු මෙහි ඉපදෙන හත්මුතු පරම්පරාවට කරගහන්නට වෙන මහා පාප නගරයක් එහි ඉදිකිරීමටයි. ඔවුන්ගේ රටවලට ඔවුන් විසින් නිත්‍යානුකූලව ගෙවිය යුතු බදු මුදලවත් නොගෙවන අන්ත ලෝබ අන්ත දූෂිත අන්ත කපටි ඊනියා “විදේශ ආයෝජකයන්ගේ අතට” ලක්මවගේ භූමිය පත් කිරීම මහා අපරාධයකි.

ඔබේ ආණ්ඩුවේත් පසුගිය ආණ්ඩුවේත් වෙනසක් නැත. දක්ෂිණාංශික දේශපාලන කඳවුර කොහොමත් කරන්නේ රටේ සම්පත් විදේශීයකරණයයි. එජාපය විසින් එදා හම්බන්තොට වරාය ආක්‍රමණික චීනාට බදු දෙනවාට විරුද්ධව අප කතා කළ හැටි ඔබට දැන් මතක නැති බව මම දනිමි. මන්ද එසේ මතක තිබ්බා නම් කොළඹ වරායේ ජැටියක් ආක්‍රමණික ඉන්දියාවට බදු දීමට ඔබ කතා කරන්නේ නැත. ඔබේ ප්‍රතිපත්තිය කැඩුනේ එදාමයි. ජනරජය හදා ලංකාව නිදහස් කරගත් වාමාංශික දේශීය කඳවුරේ දරුවන් වන ඔබලා විසින් අද කරන්නේ ජනරජය විදේශිකයන්ට පාවා දීමයි.

විදේශ ණය ගෙවන්නට ඩොලර් නැති නම් ජනපතිතුමනි ඔබ කළ යුත්තේ ඒ ණය ගෙවීම සඳහා සහන දිනා ගැනීමයි. නායකත්වය යනු එයයි. නැතුව මව්බිමේ කොටස් විකුණා ඩොලර් සෙවීම නොවේ. එය ඔබේ ප්‍රතිවාදී දේශපාලන කඳවුරේ ක්‍රමයයි. ඔබ කළ යුත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමයි. ඒ සඳහා නොබියව දක්ෂ ලෙස සාකච්ඡා කිරීමයි. ගෙවන්නටම බැරි නම් හැකිවන තෙක් නොගෙවා සිටීමයි. නායකත්වය යනු එයයි. නැතුව මුදල් වෙනුවෙන් ඔබේ මූලික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම නොවේ. කෙතරම් බඩගිනි වුණත් සිංහයා තණකොළ නොබුදින්නා සේ කෙතරම් අගහිඟ වුණත් මව්බිමේ එක බිම් අඟලක් නොවිකුණා සිටීමට නියම ජනනායකයෙකුට හැකි විය යුතුයි.

ඉඩම් ටික විකුණා හම්බකරන සොච්චම් මුදලින් පසුව වෙනත් ආදායමක් ලංකා රජයට නොගෙවන බදුගෙවීම් පැහැර හරින විදේශිකයන්ගේ කාම පාරාදීසයක් හැදීමට ඔබට අකුසල සිත් පහළ වූයේ කෙසේදැයි මට නොවැටහේ. බෞද්ධ දර්ශනයෙන් නිර්මිත දැහැමි නිවුණු ශ්‍රේෂ්ට සංස්කෘතිය ඔබ ආරක්ෂා කරන්නේ මෙලෙසද? ඔය හදන්නට හදන විපරීත විසකුරු විලම්බීතයද ඔබ මේ භූමියේ දරුවන්ට දෙන ත්‍යාගය? අනාගත නායකයන්ට මව්බිම රැකගන්නා හැටි ඔබ ආදර්ශයෙන් කියා දෙන්නේ මෙහෙමද?

දෙවන රාජසිංහ රජතුමා හිතුවේ ඕලන්දක්කාරයන් අපට හිතවත් බවයි. මහනුවර රදළයන් හිතුවේ ඉංග්‍රීසීන් අපට කරදරයක් නොකරනු ඇති බවයි. ඔබතුමා හිතන්නේ චීනා අපට සුරපුරයක් මවනු ඇති බවයි. “ඉඟුරු දී මිරිස් ගත් හැටි” අපේ ඉතිහාස පොතේ ලියා තිබේ. “නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියක්” පොරොන්දු වී පැමිණි ඔබේ ආණ්ඩුව අද කොහේ හෝ බැඳෙන්නට දහ අතේ කණු හොයන පුහුල් වැලක් වැනිය.

මෙය ඔබ විසින්ම සමුදය කරගත් දුක්ඛයකි. ඔබේ වටේ සිටින්නේ ලක්මවගේ උග්‍ර සතුරන්ය. “දේශප්‍රේමීන්” “ජාතිකවාදීන්” යැයි මහා ඝෝෂා කළ යෝධයන් අද අඟුටුමිට්‌ටන්ය. ඔබතුමන් වෙනුවෙන් මාද කතා කළ බැවින් මේ කර්මයට මාද දායක වූ බව සත්‍යයකි. එහි විපාකය ගෙවීමට මටද සිදුවන බව මම දනිමි. එදා හම්බන්තොට භූමිය විකුණනවාට විරුද්ධව ලියූ විටත් එම්සීසීය හරහා රජරට ඉඩම් විකුණනවාට විරුද්ධව ලියූ විටත් මාව උඩ දැමූ අයම කොළඹ භූමිය විකුණනවාට මා එලෙසම විරුද්ධ වන විට නින්දා අපහාස කිරීම එහි එක් විපාකයකි. ඒවා මම උපේක්ෂාවෙන් බාර ගනිමි.

“සිංහලයනට මේ භූමි ප්‍රදේශය මුහුදට දිය කර හරින්නට සිතෙන කාලයක් වන්නේය” යනුවෙන් ඩබ්ලියු ඒ සිල්වා ශූරීන් විසින් සිය පොතක ලියා ඇත. ඒ කියා ඇත්තේ කොළඹ කොටුව ගැනයි. නමුත් මට හිතෙන්නේ ඒ ලියා ඇත්තේ ඔබ ඔය හදන අසිංහල අබෞද්ධ අවලස්සන කොළඹ වරාය නගරය ගැන බවයි. එහි කිසිදු “ලාංකේය” අභිමානයක් නැත.

ධර්මය අපට මග වේවා!

ජනරජවැසි,

එරන්ද ගිනිගේ

2021 මැයි මස 16 වැනිදා

 

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 22:10